228. මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය
2411. වාදීන් අතුරෙහි උතුම් වූ සිඛී බුදුරජුන් පිරිනිවී කල්හි මම කඩාමල්කඩින් ගැවසීගත් බෝධිපූජාවක් කෙළෙමි.
2412. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකය යි.
2413. මෙයින් සවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මේඝබ්හ නම් සක්විති රජෙක් වීමි.
2414. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජවටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය අටවැනි යි.
229. සුකතාවේලිය ස්ථවිරාවදානය
2415. එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පළඳින මාලාවක් රජුට දීම සඳහා මම ගෙණ යමි.
2416. රජු වෙත පැමිණීමට පෙර සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි. සොම්නස්වූයෙම් සොම්නස් සිතින් එය බුදුරජුන්හට පිදීමි.
2417. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2418. මෙයින් පස්විසිවනු කපෙහි මහත් බල ඇති වෙභාර නම් සක්විති රජෙක් වීමි.
2419. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුකතාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුකතාවේලිය ස්ථවිරාවදානය නවවැනි යි.
230. එකවන්‍දිය ස්ථවිරාවදානය
2420. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ පස්මරුන් ජයගත් වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි.
2421. එක්තිස්වනු කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.
2422. සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විගතානන්ද නම් සක්විති රජෙක් වීමි.
2423. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකවන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකවන්‍දිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
ආලම්බනය අජින ය - මංසද ආරක්ඛද ය
අව්‍යාධි අඞ්කෝල සහ - සොණ්ණමිඤ්ජ ආවේලවන්‍දනය
පස්පණස් ගයකින් - මෙම තෙවිසි වනු වග වේ.
ආලම්බනදායක වර්‍ගය තෙවිසිවැනි යි.
24. උදකාසන වර්‍ගය
231. උදකාසනදායක ස්ථවිරාවදානය
2424. මම අරම් දොරින් නික්ම උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන් ද එළවා තැබීමි.
2425. මෙයින් එක්තිස්වනු කපෙහි දී යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනාමි. අසුන හා දිය එළවා තැබීමෙහි මේ විපාකය යි.
2426. මෙයින් පසළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසාම නම් සක්විති රජෙක් වීමි.