225. අව්‍යාධික ස්ථවිරාවදානය
2396. මම විපස්සී බුදුරජුන්හට ගිනිහල්ගෙයක් දිනිමි. රෝගීන්හට නිවාස ස්ථානයක් ද, උණුදිය වත්කරන භාජනයක් ද දිනිමි.
2397. ඒ කර්‍මය හේතුකොට ගෙණ මට මේ ආත්මභාවය මොනොවට මැවින. මම ව්‍යාධිය (කුමැයි) නො දනිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
2398. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ශාලාවක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්නිශාලාදානයෙහි මේ විපාකය යි.
2399. මෙයින් සත්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපරාජිත නම් සක්විති රජෙක් වීමි.
2400. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අව්‍යාධික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අව්‍යාධික ස්ථවිරාවදානය පස්වැනි යි.
226. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
2401-2402. නාරද යනු මගේ නමයි. මට කාශ්‍යප යයි ද කියති. ශ්‍රමණයනට අග්‍ර වූ දෙවියන් විසින් සත්කාර කරණ ලද අනුව්‍යඤ්ජන දරන්නා වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විපස්සී බුදුරජුන් දිරිමි. මම රුකඟුන මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
2403. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2404. මෙයින් සූසැත්තෑවනු කපෙහි ස්වර්‍ණ සිවිකා ආදි යානයන් ද, මහාමාත්‍ය සෙවකාදි බලයන් ද, හස්ති අශ්ව රථ සඞ්ඛ්‍යාත වාහනයන් ද, යන මොවුන්ගෙන් යුක්තවූයෙම් පැළැඳි මාලාභරණ ඇත්තෙම් රෝමස නම් රජෙක් වීමි.
2405. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
227. සෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය
2406. උද්‍යාන භූමියට නික්ම වඩනා වූ මම ලෝකනායක වූ (සිඛී) බුදුරජුන් දිටිමි. මැනවින් කොට නිමවන ලද ස්වර්‍ණවර්‍ණ වූ (හිස පළඳනා) කඩාමල්කඩක් ගෙණ,
2407. ඇතුපිට සිටි මම වහා එයින් බැස ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට (ඒ මාලාව) පිදීමි.
2408. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2409. මෙයින් සත්විසිවනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාපතාප නම් සක්විති රජෙක් වීමි.
2410. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝවණ්ණවටංසකිය ස්ථවිරයන් වයන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය සත්වැනි යි.
228. මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය
2411. වාදීන් අතුරෙහි උතුම් වූ සිඛී බුදුරජුන් පිරිනිවී කල්හි මම කඩාමල්කඩින් ගැවසීගත් බෝධිපූජාවක් කෙළෙමි.
2412. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකය යි.
2413. මෙයින් සවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මේඝබ්හ නම් සක්විති රජෙක් වීමි.
2414. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජවටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය අටවැනි යි.
229. සුකතාවේලිය ස්ථවිරාවදානය
2415. එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පළඳින මාලාවක් රජුට දීම සඳහා මම ගෙණ යමි.
2416. රජු වෙත පැමිණීමට පෙර සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි. සොම්නස්වූයෙම් සොම්නස් සිතින් එය බුදුරජුන්හට පිදීමි.
2417. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.