217. තාලවණටදායක ස්ථවිරාවදානය
2349. ග්‍රීෂ්මය නිවීම පිණිස ද දැවීම සන්සිඳෙනු පිණිස ද මා විසින් තිස්ස බුදුරජුන්හට තල්වැටක් (විජිනිපතක්) පුදන ලදී.
2350. රාගාග්නිය නිවමි. එයින් අධික වූ ද්වේෂාග්නිය ද නිවමි. එසේ ම මොහාග්නිය ද නිවමි. විජිනිපත් දනෙහි මේ විපාකය යි.
2351. මාගේ කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. (දැන්) සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
2352. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2353. මෙයින් තෙසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහානාම නම් සක්විති රජෙක් වීමි.
2354. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලවණ්ටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තාලවණ්ටදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
218. අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය
2355. මම පෙර උපාධ්‍යායයන්හට දළකඩක් ගෙණ (ගියෙමි.) (එකල මම) හී පහර බිඳී යන සේ (ජල්පනය කරණ) මන්ත්‍රයකුදු ඉගෙණ ගතිමි.
2356. ලෝකයාගේ පූජාවනට භාජන වූ කෙලෙස් රජස් විරහිත ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ගණප්‍රධාන වූ තිස්ස නමැති බුදුවරයන් වහන්සේ දිටිමි.
2357. ලොව පහළ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදවීතිහාරය (සක්මන්) කරන්නා වූ බුදුරජානන් වහන්සේට ඒ වස්ත්‍රය (පියවිළි කොට) අතුරණ ලදී.
2358. (ඒ මත වඩනා) ලෝකයට ප්‍රදීපයක් වැනි වූ නිර්‍මල චන්‍ද්‍රයා හා සමාන වූ බුදුරජුන් දැක පැහැදි සිතින් ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
2359. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මහලු පිළියක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මහලු පිළියක් දීමෙහි මේ විපාකය යි.
2360. මෙයින් සත්තිස්වනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සුනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
2361. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
219. සප්පිදායක ස්ථවිරාවදානය
2362-2363. මම ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුයෙම් උතුම් ප්‍රාසාදයෙහි හුන්නෙම් රෝගී මහණකු දැක ස්වකීය ගෘහයට පමුණුවා ගතිමි. මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ වැඩහුන්නා වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් ගිතෙල් දෙන ලදී.
2364. පැහැදි මුහුණු හා ඉඳුරන් ඇති සංසිඳුනු කාය - චිත්ත දරථ ඇති උන්වහන්සේ දැක ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ ඉදිරියෙහි සිටගෙණ ප්‍රශංසා කෙළෙමි.
2365. අතිශයින් පහන් බැව් ඇති ඍද්ධියෙහි කෙළපැමිණි ප්‍රාඥ වූ ඒ සර්‍වඥතෙම අහසෙහි (යන) හස් රජකු මෙන් අහසට නැංගේය.
2366. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
2367. මෙයින් සත්ළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතිදේව නම් සක්විති රජෙක් වීමි.
2368. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
සප්පිදායක ස්ථවිරාවදානය නවවැනි යි.
220. පාපනිවාරිය ස්ථවිරාවදානය
2369. බටපඳුරින් වැසීගිය අව්සුලං වළහන සක්මනක් මා විසින් පියදස්සී බුදුරජුන් සඳහා පිරිසිදු කරණ ලදී.
2370. පව් වළහනු පිණිස ද කුසල් රැස් කිරීම පිණිස ද කෙලෙස් දුරුකිරීම පිණිස ද බුදුසසුනෙහි වීර්‍ය්‍ය වැඩීමි.
2371. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිදේව යයි ප්‍රසිද්ධ සක්විති රජෙක් වීමි.
2372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පාපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
හත්‍ථි පානධි සච්ච - ඒකසඤ්ඤිය රංසිය
සණ්ඨිතය තාලවණටිය - අක්කන්ත සඤ්ඤක ද
සප්පි පාපනිවාරිය දැයි - සිවුපණස් ගයින් බැඳියේ.
හස්තිවර්‍ගය දෙ විසි වැනි යි.