213. සච්චසඤ්ඤක ස්ථවිරාවදානය
2329. එසමයෙහි භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද වෙස්සභූ බුදුරජ තෙම කෙලෙස් ගිනි නිවමින් මහාජනයාට ආර්ය්යසත්යයන් දේශනා කෙරෙයි.
2330. එකල්හි මම අතිශය දුකට පත්වූයෙම් වෙමි. (ඒ බුදුරජුන් දහම් දෙසන) සමාගමයට ගියෙමි. එහි හුන් මම බුදුරජුන්ගේ ධර්මය ඇසීමි.
2331. මම උන්වහන්සේගේ ධර්මය අසා දෙව්ලොවට (උප්පත්ති වශයෙන්) ගියෙමි. මම පෙර දෙව්ලොවෙහි තිස්කපක් විසීමි.
2332. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ධර්මසංඥාවක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චතුරාර්ය්යසත්ය සංඥාවෙහි මේ විපාකය යි.
2333. මෙයින් සවිසිවැනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති ඒකඵුසිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.
2334. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සච්චසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සච්චසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
214. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
2335. ගසක් මුදුනෙහි එල්ලෙන්නා වූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර දැක මම ඇඳිලි බැඳ ඒ පසුල් සිවුර වැන්දෙමි.
2336. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පාංශුකූල චීවර සංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2337. මෙයින් පස්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති අමිතාභ නම් සක්විති රජෙක් වීමි.
2338. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
215. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
2339. උදාවන්නා වූ හිරු මෙන් ද එසේ ම (උදාවී) පැතිරීගිය රැස් ඇති හිරු මෙන් ද, යහපත් ජන්ම ඇති උතුම් ව්යාඝ්රරාජයකු මෙන් ද කඳු අතුරෙහි (වැඩහුන් බුදුරජුන් දිටිමි.)
2340. කඳු අතුරෙහි ඒ බුද්ධානුභාවය බබලයි. මම බුද්ධරශ්මියෙහි සිත පහදවා කල්පයක් ස්වර්ගයෙහි සතුටු වීමි.
2341. සෙසු කල්පයන්හි මා විසින් මැනවින් කුසල් කරණ ලදී. ඒ චිත්තප්රසාදයෙන් ද බුද්ධානුස්සතිභාවනාවෙන් ද,
2342. මෙයින් තිස්දහස්වනු කපෙහි එදා යම් සංඥාවක් ලැබූයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොම දනිමි. බුද්ධසඤ්ඤාවෙහි මේ විපාකය යි.
2343. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුජාත නම් මහත් බල ඇති සක්විතිරජෙක් වීමි.
2344. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රංසිසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
216. සණ්ඨිත ස්ථවිරාවදානය
2345. මනාව වැඩුනු ඇසතු බෝරුක්හි හරිද්වර්ණ (=කොළපාට) රශ්මියෙහි සිහියෙන් යුතුව හුන්නෙම් එකම (බුද්ධානුස්සති සංඥාව) ලැබීමි.
2346. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් (බුද්ධානුස්සති) සංඥාවක් ලැබූයෙම් ද, ඒ බුද්ධානුස්මෘතිසංඥා බලයෙන් මාගේ ආස්රවක්ෂය විය. (රහත් වීමි.)
2347. මෙයින් තෙළෙස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධනිට්ඨ නම් ක්ෂත්රියෙක් වීමි.
2348. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සණ්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සණ්ඨිත ස්ථවිරාවදානය සවැනි යි.