220. පාපනිවාරිය ස්ථවිරාවදානය
2369. බටපඳුරින් වැසීගිය අව්සුලං වළහන සක්මනක් මා විසින් පියදස්සී බුදුරජුන් සඳහා පිරිසිදු කරණ ලදී.
2370. පව් වළහනු පිණිස ද කුසල් රැස් කිරීම පිණිස ද කෙලෙස් දුරුකිරීම පිණිස ද බුදුසසුනෙහි වීර්‍ය්‍ය වැඩීමි.
2371. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිදේව යයි ප්‍රසිද්ධ සක්විති රජෙක් වීමි.
2372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
පාපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
හත්‍ථි පානධි සච්ච - ඒකසඤ්ඤිය රංසිය
සණ්ඨිතය තාලවණටිය - අක්කන්ත සඤ්ඤක ද
සප්පි පාපනිවාරිය දැයි - සිවුපණස් ගයින් බැඳියේ.
හස්තිවර්‍ගය දෙ විසි වැනි යි.
23. ආලම්බණදායක වර්‍ගය
221. ආලම්බනදායක ස්ථවිරාවදානය
2373. (අටලෝ දහම්හි කම්පා නො වන බැවින්) තාදී ගුණ ඇති, ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් ආලම්බනඵලකයක් (වැතිරෙන පුවරුවක්) පුදන ලදි.
2374. සයුර කෙළවර කොට ඇති මහත් වූ පෘථිවිය රජයෙමි. ධනය කෙරෙහි ද ප්‍රාණීන් කෙරෙහි ද ආධිපත්‍යය පවත්වමි.
2375. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
2376. මෙයින් දෙසැටවනු කපෙහි මහත් බල ඇති ඒකාපස්සිත නම් ඒ තුන් සක්විති රජකෙනෙක් වූහ.
2377. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආලම්බදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
222. අජිනදායක ස්ථවිරාවදානය
2378. මෙයින් එක්තිස්වන කපෙහි මම ගණාචාර්‍ය වූයෙම් වෙමි. කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සිඛී බුදුරජුන් දිටිමි.
2379. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් සම්කඩක් දෙන ලදී. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කර්‍මය කරණ කොට ගෙණ-
2380. මම සම්පත් අනුභව කොට කෙලෙස් ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරය ද දරමි.
2381. මම මෙයින් එක්තිස්වනු කපෙහි යම් අඳුන් දිවිසමක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඳුන් දිවිසම් දනෙහි මේ විපාක යි.
2382. මෙයින් පස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුදායක නම් සක්විති රජෙක් වීමි.
2383. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජිනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.