211. හත්ථිදායක ස්ථවිරාවදානය
2319. තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේට රාජවාහනයෝග්ය වූ උඩට නැගුනු මහත් දළ ඇති ඇත් රජෙක් මා විසින් පුදන ලදි.
2320. (ඒ හේතුවෙන්) නිරුත්තර උත්තමාර්ත්ථය වූ ශාන්තිපදය අනුභව කරමි. සර්වලොකහිතෛෂීන් වහන්සේට මා විසින් අග්රදානයක් දෙන ලදී.
2321. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් හස්තිනාගයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හස්තිනාගයා දන් දීමෙහි මේ විපාකය යි.
2322. අට සැත්තෑවන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
2323. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හත්ථිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හත්ථිදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
212. පානධිදායක ස්ථවිරාවදානය
2324. මම බොහෝ කලක් තපස්කම් කළ වෘද්ධ වූ වඩනාලද සිත් ඇති අරණෙහි වසන ඍෂිවරයකුහට පාවහනක් දුනිමි.
2325. ද්විපදෝත්තම වූ ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨයන් වහන්ස, ඒ පුණ්යකර්ම හේතුවෙන් සියලු යානයන් (ලබා) පරිභෝග කරමි.
2326. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
2327. මෙයින් සත්සැත්තෑවනු කපෙහි මහත් බල ඇති සුයාන නම් වූ අට සක්විති රජකෙනෙක් වූහ.
2328. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පානධිදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
213. සච්චසඤ්ඤක ස්ථවිරාවදානය
2329. එසමයෙහි භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද වෙස්සභූ බුදුරජ තෙම කෙලෙස් ගිනි නිවමින් මහාජනයාට ආර්ය්යසත්යයන් දේශනා කෙරෙයි.
2330. එකල්හි මම අතිශය දුකට පත්වූයෙම් වෙමි. (ඒ බුදුරජුන් දහම් දෙසන) සමාගමයට ගියෙමි. එහි හුන් මම බුදුරජුන්ගේ ධර්මය ඇසීමි.
2331. මම උන්වහන්සේගේ ධර්මය අසා දෙව්ලොවට (උප්පත්ති වශයෙන්) ගියෙමි. මම පෙර දෙව්ලොවෙහි තිස්කපක් විසීමි.
2332. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ධර්මසංඥාවක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චතුරාර්ය්යසත්ය සංඥාවෙහි මේ විපාකය යි.
2333. මෙයින් සවිසිවැනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති ඒකඵුසිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.
2334. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සච්චසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සච්චසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
214. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
2335. ගසක් මුදුනෙහි එල්ලෙන්නා වූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර දැක මම ඇඳිලි බැඳ ඒ පසුල් සිවුර වැන්දෙමි.
2336. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පාංශුකූල චීවර සංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2337. මෙයින් පස්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති අමිතාභ නම් සක්විති රජෙක් වීමි.
2338. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.