199. කිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය
2260. සියල්ල තමන් ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ අපරාජිත වූ සුමඞ්ගල බුදුරජහු විහාරයෙන් නික්ම නුවරට පිවිසියහ.
2261. කොට නිම වූ සියලු බුදුකිස ඇති සර්‍වඥ මුනීහු පිඬු පිණිස හැසිර නුවරින් නික්ම වනතුරෙහි වුසූහ.
2262. (ඒ දවස්) පහන් සිත් ඇත්තෙම් සතුටු වූයෙම් කිඞ්කණිපුෂ්පයන් ගෙණ සියල්ල තමන්ම දතුවා වූ මහර්ෂී වූ බුදුරජුන්හට එළැවීමි.
2263. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2264. මෙයින් සඅනූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අපිලාපිය නම් සක්විති රජෙක් වීමි.
2265. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංකණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිංකණිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
200. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
2266. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පස්මරුන් ජයගත් පසැස් ඇති පදුමුත්තර බුදුරජහු වනයෙන් නික්ම විහාරයට වඩිති.
2267. උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත්සිත් ඇති තාදී ගුණ යුත් බුදුරජුන් පිදීමි.
2268. ඒ චිත්තප්‍රසාදයෙන් සම්පත් අනුභව කොට මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනෙමි.
2269. මෙයින් පණස්වෙනි කපෙහි මහත් මහත් බල ඇති ජනාධිපති වූ සමිත්තනන්‍දන නම් සක්විති රජෙක් වීමි.
2270. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
තමාලී තිණසන්‍ථාර - ඛණ්ඩඵුල්ලි අසෝකිය
අඞ්කොලකි කිසලය - තීන්‍දුක නෙලපුප්ඵිය
කිඞ්කණික යූථික දැ යි - දසවත් අටපණස් ගී.
තමාලපුප්ඵිය වර්‍ගය විසිවැනියි.
යලි වගෙහි උද්දානය:
භික්ඛාදායී පරිවාර - සෙරෙය්‍ය සොභිත සහ
ඡත්ත බන්ධුජීව - සුපාරිචරිය ද
කුමුද කුජට සහ - තමාලීවහ දැයි දස
සසිය සසැට ගයෙකි - ඉන් වැඩියෙකුදු වේ ම ය.
භික්ෂාවර්‍ගදශකය යි.
ද්විතීය ශතකය සමාප්තයි
21. කණිකාරපුප්ඵිය වර්‍ගය
201. කණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
2271. මම එකල්හි පිපුණු කිණිහිරි රුකක් දැක චතුරෝඝයන් තරණය කළා වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට (ඒ මල් නෙලා) පිදීමි.
2272. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2273. මෙයින් පන්තිස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අරුණපාණී යැ යි ප්‍රකට වූ සක්විති රජෙක් වීමි.
2274. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
202. මිනෙලපුප්ඵිය ස්ථවිරාවදානය
2275. හිරුමෙන් ප්‍රතාපවත් වූ ස්වර්‍ණවර්‍ණ වූ මෙත් සිත් ඇති සිඛී භාග්‍යවත්හු සක්මනට නැගුනාහ.
2276. එ දවස් මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ශ්‍රේෂ්ඨඥාන ඇති බුදුරජුන්හට වැඳ මිනෙල පුෂ්පයන් ගෙණ (එම) බුදුරජුන්හට පිදීමි.
2277. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.