188. තිකණ්ණිපුප්ඵිය ස්ථවිරාවදානය
2197. දෙවි වූ මම අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර කරණ ලද කර්මය සිහි කොට බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2198. සිහින් මිදිමල් තුණක් ගෙණ සිය සිත පහදවා නරර්ෂභ වූ විපස්සී බුදුරජුන් කෙරෙහි පිදීමි.
2199. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2200. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති රමුත්තම නම් සිවු සක්විතිරජ කෙනෙක් වූහ.
2201. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණ්ණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකණ්ණිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
189. ඒකචාරිය ස්ථවිරාවදානය
2202. එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝොෂයක් විය. (කෙසේ ද? යත්:) “බුදුරජානන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක් ම) රාග සහිතයෝ වමු” (කියා යි).
2203. සංවේගයට පත් ශෝක නමැති උල් ඇනුනු ඒ (දෙවියන් අතුරෙන්) මම චිත්ත බලයෙන් දැඩි වූයෙම් බුදුරජුන් සමීපයට ගියෙමි.
2204. මවන ලද සියුම් වූ මදාරා (මල්) ගෙණ පිරිනිවන් පාන වේලෙහි බුදුරජුන්හට පිදීමි.
2205. එකල්හි සියලු දෙවියෝ ද අප්සරාවෝ ද මාගේ පින අනුමෝදන් වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක් නො දනිමි.
2206. මෙයින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහාමල්ලජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2207. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකචරියස්ථවිරාවදානය නවවැනි යි.
190. තිවණ්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
2208. ඒ සියල්ලෝ රැස් වැ සොවින් මැඩුනෝ ලං වැ මා දෙස බලත්. එසේ ලං වැ බලන ඔවුන්හට සිත්හි දැවිල්ල ඇති විය.
2209. එකල්හි ධම්මදස්සී බුදුරජානන් වහන්සේගේ සුනන්ද නම් ශ්රාවක තෙමේ මා වෙත පැමිණියේ ය.
2210. එදා යම් කෙනෙක් මාගේ සහචරයෝ වූ හු ද, ඔවුහු මට මල් දුන්නාහු ය. මම ඒ මල් ගෙණ (සුනන්ද නම්) ශ්රාවකයන් වහන්සේ කෙරෙහි පිදීමි.
2211. (ඉක්බිති) කලුරිය කළා වූ මම් ඒ දෙව්ලොවෙහි ම උපනිමි. කප් එක්දහස් අටසියක් ම දුගතියකට නො ගියෙමි.
2212. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති කෙනෙක් වූහ.
2213. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිවණ්ටිපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කුටජ බන්ධුජීවී - කොටුම්බරික හත්ථිය
ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද
ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද
ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
කුටජපුප්ඵියවර්ගය එකුන්විසිවැනි යි.