182. බන්ධුජීවක ස්ථවිරාවදානය
2157. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ සත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද සිද්ධාර්ත්ථ නම් ඒ බුදුරජහු සමාධියට සමවැදුනාහු පර්වතය අතුරෙහි වැඩ හුන්හ.
2158. ස්වයංජාත විලෙක්හි ජලයෙහි හටගන්නා වූ උතුම් මල් සොයන්නෙම් (ඒ නො දැක) ඉක්බිති ව බඳුවදමල් දිටිමි.
2159. (ඒ මල්) දෝතින් ගෙණ මහාමුනි වූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිද්ධාර්ත්ථ බුදුරජුන්හට එය පිරිනැමීමි.
2160. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2161. මෙයින් තුදුස් වන කපෙහි ජනාධිපති වූ සමුද්දකප්ප නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2162. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බන්ධුජීවකස්ථවිරාවදානය දෙවැනියි.
183. කොටුම්බරිය ස්ථවිරාවදානය
2163-2164. පර්වත අතුරෙහි (පිපුනු) කිණිහිරි රුකක් මෙන් බබලන වැඩහුන්නා වූ පමණ කළ නො හැකි (ජලය ඇති) සයුර මෙන් අපමණ ගුණ ඇති පැතුරුණා වූ පොළොව මෙන් නිශ්චල අතිශ්රේෂ්ඨ ආජානීයයකු මෙන් දිව්යසමූහයා විසින් පුදන ලද (සිඛී බුදුරජුන්) දිටිමි. (දැක) සොම්නස් වූයෙම් සතුටු සිතින් නරෝත්තම වූ උන්වහන්සේ වෙත එළඹියෙමි.
2165. කොටුම්බර නම් වස්ත්ර වර්ගයෙහි ගැවසී තුබුනු මල් සතක් ගෙණ ලෝකබන්ධු වූ බුදුරජානන් වහන්සේට පූජා කෙළෙමි.
2166. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2167. මෙයින් විසිවැනි කපෙහි මහත් බල ඇති මහානෙල නම් මහාතේජස් ඇති එක් සක්විතිරජෙක් වීමි.
2168. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොටුම්බරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කොටුම්බරියස්ථවිරාවදානය තෙවැනි යි.
184. පඤ්චහත්ථිය ස්ථවිරාවදානය
2169. ලොවට දෙටු වූ නරශ්රේෂ්ඨ වූ භාග්යවත් වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
2170. මා විසින් උපුල්මල් මිටි පසක් ද හතරක් ද (හෙවත් උපුල් මිටි නවයක්) තබන ලදී. මම (ඒ මල්) ව්රතසිද්ධිය සඳහා බුදුරජුන්හට දෙනු කැමැත්තෙම් (තුබූ තැනින්) ගතිමි.
2171. ඇතුළු වීථියෙහි ගමන් කරන්නා වූ ස්වර්ණවර්ණ වූ බුදුරජුන් (දිටිමි). මම බුදුරැසින් මැනවින් පහස්නා ලද්දෙම් ද වෙමි. ද්විපදෝත්තම වූ ඒ බුදුරජුන් පිදීමි.
2172. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2173. මෙයින් තෙළෙස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උසභ නම් වූ පස් සක්විති කෙනෙක් වූහ.
2174. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පඤ්චහත්ථියස්ථවිරාවදානය සිවුවැනි යි.