190. තිවණ්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
2208. ඒ සියල්ලෝ රැස් වැ සොවින් මැඩුනෝ ලං වැ මා දෙස බලත්. එසේ ලං වැ බලන ඔවුන්හට සිත්හි දැවිල්ල ඇති විය.
2209. එකල්හි ධම්මදස්සී බුදුරජානන් වහන්සේගේ සුනන්ද නම් ශ්රාවක තෙමේ මා වෙත පැමිණියේ ය.
2210. එදා යම් කෙනෙක් මාගේ සහචරයෝ වූ හු ද, ඔවුහු මට මල් දුන්නාහු ය. මම ඒ මල් ගෙණ (සුනන්ද නම්) ශ්රාවකයන් වහන්සේ කෙරෙහි පිදීමි.
2211. (ඉක්බිති) කලුරිය කළා වූ මම් ඒ දෙව්ලොවෙහි ම උපනිමි. කප් එක්දහස් අටසියක් ම දුගතියකට නො ගියෙමි.
2212. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති කෙනෙක් වූහ.
2213. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිවණ්ටිපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කුටජ බන්ධුජීවී - කොටුම්බරික හත්ථිය
ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද
ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද
ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
කුටජපුප්ඵියවර්ගය එකුන්විසිවැනි යි.
20. තමාලපුප්ඵිය වර්ගය
191. තමාලපුප්ඵිය ස්ථවිරාවදානය
2214. මට කප්රුකක් (දිව්යවෘක්ෂයක්) වැනි විමනක් මැනවින් මැවින. එහි ස්වර්ණමය වූ සුවාසූදහසක් ස්තම්භයෝ වූහ.
2215. තමළු මලක් ගෙන පහන් සිතින් ලෝකබන්ධු වූ සිඛී බුදුරජුන් හට පිදීමි.
2216. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2217. මෙයින් විසිවෙනි කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති චන්දතිත්ත නම් සක්විති රජෙක් වීමි.
2218. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තමාලපුප්ඵිය ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තමාලපුප්ඵියස්ථිවිරාවදානය පළමුවැනි යි.
192. තිණසන්ථරදායක ස්ථවිරාවදානය
2219. වන වැසි තවුසෙක් බුදුරජානන් වහන්සේට (සෙවෙනියක් කරණු පිණිස) යම් තෘණයක් කපා ද, ඒ සියලු තෘණ දක්ෂිණාවර්ත වැ පොළොවෙහි වැටින.
2220. මම් ඒ තෘණ ගෙන වැඩ වසන ඒ උතුම් බිම ඇතිරීමි. ඒ කල්හි මම තල්පත් තුණක් ද ගෙණ අවුත්,
2221. සිද්ධාර්ත්ථ බුදුරජුන් හට තෘණයෙන් සෙවෙනියක් කොට දිනිමි. දෙවිමිනිස්සු (සමවතින් හුන්) ශාස්තෲන් වහන්සේට සතියක් මැ එය දැරූහ.
2222. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එ දවස් යම් තණ (සෙවෙනියක්) දිනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණ (සෙවෙනි) දනෙහි මේ විපාකය යි.
2223. මෙයින් පන්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්ය වූ මහත් බල ඇති මහද්ධන නම් වූ සිවු සක්විති රජ කෙනෙක් වූහ.
2224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්ථරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණසන්ථරදායකස්ථවිරාවදානය දෙවැනි යි.