177. ඒකදීපිය ස්ථවිරාවදානය
2133. පදුමුත්තර බුදුරජුන්ගේ සළලබෝරුකෙහි සහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම එක් පහනක් දැල්වීමි.
2134. භවයෙහි උපදනා කල්හි නිපන් පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නො දනිමි. ප්රදීපදානයාගේ මේ විපාකයයි.
2135. මෙයින් සොළොස්දහස්වන කපෙහි චන්ද්රභ නම් වූ මහත් බල ඇති සිවු සක්විති රජ කෙනෙක් වූහ.
2136. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපියො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකදීපියස්ථවිරාවදානය සත්වැනියි.
නවවැනි බණවර යි.
178. මණිපූජක ස්ථවිරාවදානය
2137. හිමවතැ මොබ පෙදෙසෙක්හි (එක්) නදියක් ගලා බැස්සේය. එකල්හි ඒ ගං ඉවුර සමීපයෙහි පදුමුත්තර බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක.
2138. මැනැවින් විසිතුරු මනරම් වූ මිණිපළඟක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට පිරිනැමීමි.
2139. මෙයින් සිවු අනූවන කපෙහි යම් මිණිපළඟක් පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2140. මෙයින් සොළොස්වන කපෙහි මහබල ඇති සතරංසී නම්වූ අට සක්විති රජකෙනෙක් වූහ.
2141. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මණිපූජකස්ථවිරාවදානය අටවැනියි.
179. තිකිච්ඡක ස්ථවිරාවදානය
2142. මම බන්ධුමතී නගරයෙහි රෝගී වූ දුක්සහිත මහාජනයාට සුව ගෙණ දෙන්නා වූ (වෛද්යශාස්ත්රයෙහි) මැනැවින් හික්මුනු වෛද්යවරයෙක් වීමි.
2143. එකල්හි සිල්වත් වූ මහත් ගුණ ඇති රෝගී වූ ශ්රමණයන් වහන්සේ නමක් දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෙහෙතක් දුනිමි.
2144. විපස්සී බුදුරජුන්ගේ උපස්ථායක වූ අසෝක නම් සන්හුන් ඉඳුරන් ඇති ඒ ශ්රමණයන් වහන්සේ එම බෙහෙතින් ම නීරෝග වූහ.
2145. මම මෙයින් එක්අනූවන කපෙහි යම් ඖෂධයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත්දනෙහි මේ විපාකය යි.
2146. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්බොසධ නම් වූ සක්විතිරජෙක් වීමි.
2147. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිච්ඡක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකිච්ඡකස්ථවිරාවදානය නවවැනියි.
180. සඞ්ඝුපට්ඨාක ස්ථවිරාවදානය
2148. වෙස්සභූ බුදුරජුන්ගේ කාලයෙහි මම ආරාමිකයෙක් (අරමෙහි උවටැන් කරන්නෙක්) වීමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් සඞ්ඝයාට උවටැන් කෙළෙමි.
2149. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සඟනට උවටැන් කිරීමේ මේ විපාකය යි.
2150. මෙයින් සත්වැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝදක නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
2151. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සඞ්ඝුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සඞ්ඝුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
කුමුදනිස්සෙණි රත්තික උදපානද
සීහාසනී මග්ගදද එකදීපී මණිප්පද
තිකිච්ඡකුපට්ඨාකැයි දසවතෙකුන්පණස් ගී.
සීහාසනී මග්ගදද එකදීපී මණිප්පද
තිකිච්ඡකුපට්ඨාකැයි දසවතෙකුන්පණස් ගී.
කුමුදවර්ගය අටළොස් වැනි යි.