174. උදපානදායක ස්ථවිරාවදානය
2121. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතය ද දී (ඒ ලිඳ ද) පිරිනැමීමි.
2122. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (උදපානදාන සඞ්ඛ්‍යාත) කර්‍මයක් කරණ ලද ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකය යි.
2123. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායකො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදපානදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
175. සීහාසනදායක ස්ථවිරාවදානය
2124. පදුමුත්තර බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිහසුනක් පිදීමි.
2125. මෙ ලොව සුව එළවන ඒ සිංහාසනයෙහි බොහෝ ගඳින් මලින් පූජා පවත්වා බොහෝ ජනයා (දුක් ගින්නෙන්) නිවෙයි.
2126. මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2127. පසළොස්දහස්වන කපෙහි සිලුවච්ය නම් ප්‍රසිද්ධ වූ අට සක්විතිරජකෙනෙක් වූහ.
2128. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනදායක ස්ථවිරාවදානය පස්වැනියි.
176. මග්ගදත්තික ස්ථවිරාවදානය
2129. ද්විපදෝත්තම වූ නරර්‍ෂභ වූ අනෝමදස්සී භාග්‍යවත්හු දිට්ඨධම්මසුඛය (=දිටුදැමියෙහි සිරුරු සුවය) පිණිස එළිමහනෙහි සක්මන් කළහ.
2130. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මම උන්වහන්සේ) වැඳ මල් විසුරුවාලීමි. සක්මන් කිරීම සඳහා ඒ බුදුරජහු පා එසෙ වූ කල්හි (ඒ පියුම් උපුල් ආදී) මල් (විසිරී) උන්වහන්සේගේ හිස මතුයෙහි බබළමින් සිටියි.
2131. මෙයින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහබල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.
2132. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදත්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මග්ගදත්තිකස්ථවිරාවදානය සවැනියි.
177. ඒකදීපිය ස්ථවිරාවදානය
2133. පදුමුත්තර බුදුරජුන්ගේ සළලබෝරුකෙහි සහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම එක් පහනක් දැල්වීමි.
2134. භවයෙහි උපදනා කල්හි නිපන් පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකයයි.
2135. මෙයින් සොළොස්දහස්වන කපෙහි චන්‍ද්‍රභ නම් වූ මහත් බල ඇති සිවු සක්විති රජ කෙනෙක් වූහ.
2136. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපියො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකදීපියස්ථවිරාවදානය සත්වැනියි.
නවවැනි බණවර යි.
178. මණිපූජක ස්ථවිරාවදානය
2137. හිමවතැ මොබ පෙදෙසෙක්හි (එක්) නදියක් ගලා බැස්සේය. එකල්හි ඒ ගං ඉවුර සමීපයෙහි පදුමුත්තර බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක.
2138. මැනැවින් විසිතුරු මනරම් වූ මිණිපළඟක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට පිරිනැමීමි.
2139. මෙයින් සිවු අනූවන කපෙහි යම් මිණිපළඟක් පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2140. මෙයින් සොළොස්වන කපෙහි මහබල ඇති සතරංසී නම්වූ අට සක්විති රජකෙනෙක් වූහ.
2141. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මණිපූජකස්ථවිරාවදානය අටවැනියි.