172. නිස්සෙණිදායක ස්ථවිරාවදානය
2112. ලොවට දෙටු වූ තාදිගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්යවතුන් වහන්සේට නැගීම සඳහා මා විසින් හිණෙක් කරණ ලදී.
2113. ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ සම්පත් වළඳා සම්බුදු සස්නෙහි අන්තිම සිරුර දරමි.
2114. එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2115. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙණිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නිස්සෙණිදායක ස්ථවිරාවදානය දෙවෙනියි.
173. රත්තිපුප්ඵිය ස්ථවිරාවදානය
2116. මම පෙර මහවෙනෙහි (හැසිරෙණ) මුවවැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවි වූ නරර්ෂභ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2117. රතු මල් ඇති පිපුනු කෙළිඳගසක් දැක ඒ මල් නටු සහිතව ම නෙළා ගෙණ බුදුරජුන්හට පිරිනැමීමි.
2118. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
2119. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බලැති සුප්පසන්ත නම් සක්විතිරජෙක් වීමි.
2120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රත්තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රත්තිපුප්ඵියස්ථවිරාවදානය තෙවැනි යි.
174. උදපානදායක ස්ථවිරාවදානය
2121. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතය ද දී (ඒ ලිඳ ද) පිරිනැමීමි.
2122. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (උදපානදාන සඞ්ඛ්යාත) කර්මයක් කරණ ලද ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකය යි.
2123. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායකො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදපානදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
175. සීහාසනදායක ස්ථවිරාවදානය
2124. පදුමුත්තර බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිහසුනක් පිදීමි.
2125. මෙ ලොව සුව එළවන ඒ සිංහාසනයෙහි බොහෝ ගඳින් මලින් පූජා පවත්වා බොහෝ ජනයා (දුක් ගින්නෙන්) නිවෙයි.
2126. මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2127. පසළොස්දහස්වන කපෙහි සිලුවච්ය නම් ප්රසිද්ධ වූ අට සක්විතිරජකෙනෙක් වූහ.
2128. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනදායක ස්ථවිරාවදානය පස්වැනියි.