167. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
2082. මම චන්‍ද්‍රභාග ගං තෙර පහළට ගමන් කරමි. එහිදී පිපුනු සල්රුකක් වැනි බුදුරජුන් දිටිමි.
2083. මම සීනිද්ද මලක් ගෙණ මහාමුනි වු බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එය බුදුරජුන්හට පිරිනැමීමි.
2084. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2085. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමුද්ධර නම් සක්විති රජෙක් වීමි.
2086. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යූථිකාපුප්ඵියස්ථවිරාවදානය සත්වැනි යි.
168. දුස්සදායක ස්ථවිරාවදානය
2087. මම එකල්හි රම්‍ය වූ තීවරා නගරයෙහි රාජපුත්‍රයෙක් වීමි. මම පඬුරක් කොට දුන් වස්ත්‍රයක් ලැබ උපශාන්ත වූ බුදුරජුන්හට පිළිගැන්වීමි.
2088. භාග්‍යවත් තෙමේ (ඒ වස්ත්‍රය) ඉවැසීය. එය අතින් ස්පර්‍ශ කෙළේ ය. සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවත් තෙම එය ඉවසා (=පිළිගෙණ) අහසට නැංගේ ය.
2089. බුදුරජුන් අහසෙහි වඩින කල්හි දුහුල් වස්ත්‍රයෝ පසුපසින් දිවෙත්. එහිදී බුදුරජහු අපගේ අග්‍රපුද්ගලයන් වහන්සේ යි සිත පැහැදැවීමි.
2090. මෙයින් සිවු අනූවන කපෙහි වූ එ දවස් යම් වස්ත්‍රයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකය යි.
2091. මෙයින් සත්සැටවන කපෙහි වූ එ දවස් මහත් බල ඇති මනුජේන්‍ද්‍ර වූ පරිසුද්ධ නම් සක්විති රජෙක් වීමි.
2092. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දුස්සදායකස්ථවිරාවදානය අටවැනි යි.
169. සමාදපක ස්ථවිරාවදානය
2093. බන්‍ධුමතී නගරයෙහි මහත් උවසු මුළුවෙක් වූහ. මම ඔවුන්ගේ ගණදෙටු වීමි. ඔහු ද මාගේ සහචරයෝ වූහ.
2094. ඒ සියල්ලන් රැස් කරවා ‘නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට මාලකයක් කරවන්නෙමු’යි පින්කමෙහි සම්මාදම් කරවීමි.
2095. මාගේ අදහස් අනුව ගියා වූ ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී ඒ මාලකය නිම වූහ. අපි විපස්සී බුදුරජුන්හට එය දුනුම්හ.