161. සුපාරිචරිය ස්ථවිරාවදානය
2050. ද්වීපදෝත්තම වූ නරශ්රේෂ්ඨ වූ පසැස් ඇති නමින් පදුම නම් බුදුරජහු තමන් විහරණය කළ උපවනයෙන් නික්ම (අවුත්) දහම් දෙසූහ.
2051. බුදුරජුනට නුදුරෙහි යක්ෂසමාගමයෙක් විය. එකල යම් කරුණකින් ඔහු එහි පැමිණියාහු ද (ඒ කරුණු සපුරනුවෝ) බුදුරජුන් දෙස සාවධාන වැ බලා හුන්හ.
2052. (මම) බුදුරජුන්ගේ කට හඬ ද දහම් අමා දෙසුම ද දැන, පහන් සිත් ඇත්තෙම් අත්පොළසන් දී ඔබට උවටැන් කෙළෙමි.
2053. ශාස්තෘන් වහන්සේට මැනැවින් කරණ ලද උපස්ථානයාගේ විපාකය බලනු මැනව. ඒ පිනෙන් මම තිස්දහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො වන්මි.
2054. දෙදහස්නවසිය වන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බල ඇති සමලඞ්කත නම් සක්විති රජෙක් වීමි.
2055. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපාරිචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපාරිචරියස්ථවිරාවදානය පළමුවැනි යි.
162. කණවේරපුප්ඵිය ස්ථවිරාවදානය
2056. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ සිද්ධාර්ත්ථ නම් භාග්යවතුන් වහන්සේ ශ්රාවකයන් විසින් පිරිවරන ලදුව නගරයට පිළිපන් සේක.
2057. මම එකල්හි රජුගේ සාධුසම්මත වූ අන්තඃපුරපාලකයා වීමි. පහයෙහි හුන් මම් ඒ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
2058. කණවේරමල් ගෙණ භික්ෂුසංඝයා විෂයෙහි ඉස්සෙමි. එයින් වැඩි කොටස බුදුරජුන්හට වෙන් කොට විසුළෙමි. (පිදීමි).
2059. මෙයින් සිවුඅනූවක කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2060. මෙයින් සත්අනූවන කපෙහි සතුරුවනින් යුත් මහත් බල ඇති මහිද්ධික නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2061. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවේරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණවේරපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
163. ඛජ්ජදායක ස්ථවිරාවදානය
2062. මම පෙර තිස්ස බුදුරජානන් වහන්සේට පොල් ද අභිසම්මත ඛාද්ය (රස කැවිලි) ද දිනිමි.
2063. මම මහර්ෂි වූ තිස්ස බුදුරජානන් වහන්සේට එය දී කැමති සේ භවසම්පත් ලබනුයෙම් කැමැති දෑ කරණ සුල්ලෙම් ප්රමුදිත වෙමි.
2064. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ නාළිකෙරඵලදානයාගේ විපාකය යී.
2065. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බලැති ඉන්දසම නම් සක්විති රජෙක් වීමි.
2066. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛජ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඛජ්ජදායකස්ථවිරාවදානය තෙවැනි යි.
164. දෙසපූජක ස්ථවිරාවදානය
2067. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ අත්ථදස්සී භාග්යවතුන් වහන්සේ අහසට නැගී අහස්මග වඩිනා සේක.
2068. මහාමුනි වූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනු සේක් ද මම පහන් සිත් ඇත්තෙම් සියතින් ඒ දෙස පිදීමි.
2069. එක්දහස් අටසියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දිසාපූජාවෙහි මේ විපාකය යී.
2070. එක්දහස් එක්සියවන කපෙහි සත්රුවනින් ආඪ්ය මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
2071. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
දෙසපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.