141. අතිඡත්තිය ස්ථවිරාවදානය
1941. භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි (උන්වහන්සේගේ) ධාතුචෛත්‍යයෙහි ඡත්‍රය මතුයෙහි ඡත්‍රයක් කරවා පිදීමි.
1942. කලින් කල අවුත් ශාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට නමස්කාර කෙළෙමි. මල්වියනක් ද කොට ඡත්‍රයෙහි (මත) නගා තැබීමි.
1943. (ඒ හේතුවෙන්) සතළොස් කප්සියයක් දිව්‍යරාජ්‍යය කරවීමි. මිනිසත් බවට නො ගියෙමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1944. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් අතිඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අතිඡත්තියස්ථවිරාවදානය පළමුවැනි යි.
142. ථම්භාරෝපක ස්ථවිරාවදානය
1945. ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධ්වජස්තම්භය (=කොඩි ගස) ක් නැංවීමි.
1946. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙණ සෑයෙහි පිදීමි.
1947. බුදුහු ආශ්චර්‍ය්‍යයහ. ධර්‍මය ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය. (එකී පූජාහේතුවෙන්) දුගතියක් නො දනිමි. ථූපපූජාවෙහි මේ විපාකය යි.
1948. මෙයින් සිවුඅනූවන කපෙහි මහත් බල ඇති ථූපසිඛර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1949. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් ථම්භාරෝපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ථම්භාරෝපකස්ථවිරාවදානය දෙවැනි යි.
143. වේදිකාරක ස්ථවිරාවදානය
1950. ලෝකනායක වූ පියදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මුතුමුවාවේදිකාවක් කෙළෙමි.
1951. මිණියෙන් පිරිවර කොට උතුම් වේදිකාවක් (පිළක්) කෙළෙමි. මම ඒ වේදිකාපූජාව කොට එහි කලුරිය කෙළෙමි.
1952. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හේතුවෙන්) අහසෙහි මිණිරුවන්හු දරත්. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
1953. මෙයින් සොළොස්කප්සියෙහි මහත් බල ඇති මණිප්පභාස නම් දෙතිස් සක්විති රජකෙනෙක් වූහ.
1954. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වේදිකාරක ස්ථවිරාවදානය තෙවැනි යි.
144. සපරිවාරිය ස්ථවිරාවදානය
1955. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුහු ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.
1956. මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දා නිදන් කළ) මහත් සෑයෙක් විය. අති උතුම් දාගෙයට (සැදැහැතියෝ) දිවාරෑදෙක්හි උවැටැන් කෙරෙත්.
1957. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එහි) සඳුන් වේදිකාවක් කෙළෙමි. එකල්හි සෑයට සුදුසු වූ සඳුන් දුම් ද දින.
1958. භවයෙහි දිවඅත්බව්හි හෝ මිනිසත්බව්හි හෝ උපදනා කල්හි මාගේ ලාමක බවක් නො දකිමි. පූර්‍වකර්‍මයාගේ මේ විපාකය යි.
1959. මෙයින් එක්දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති සමත්ත නම් වූ ඒ සියලු සක්විති රජවරු අටදෙනෙක් වූහ.
1960. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් සපරිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සපරිවාරියස්ථවිරාවදානය සිවුවැනි යි.
145. උම්මාපුප්ඵිය ස්ථවිරාවදානය
1961. ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට පාත්‍ර වූ ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහාචෛත්‍ය පූජාවක් විය.
1962. සිදුහත් බුදුරජුන්ට පූජාව පවත්නා කල්හි (මම) දියබෙරලිය මල් ගෙණ සෑයට පිදීමි.