128. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
1849. හිමවත් පව්වෙහි කඳුඅතුරෙහි වෙසෙමි. ශෝභන වූ වැලිතලාවක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
1850. “නුවණෙහි (සැසඳීමට) උපමාවක් නැත. ශාස්තෘන් වහන්සේට සංග්‍රාමයකුදු නැත. සියලු ධර්‍මයන් මොනවට දැන නුවණින් නිශ්චයට පැමිණේ.
1851. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. උතුම් නුවණ යම් තාක් ද, (ඒ තාක් නුවණැති) ඔබවහන්සේට නුවණින් සම කෙනෙක් නැත”.
1852. බුද්ධඥානයෙහි සිත පහදවා කැපක් මුළුල්ලෙහි මම ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1853. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුද්ධ) ඥානසංඥාවක් ලැබුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො දනිමි. බුද්ධඥානසංඥාවෙහි මේ ප්‍රතිඵලය යි.
1854. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුලිනපුප්ථිය නම් එක් සක්විතිරජෙක් විය.
1855. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනියි.
129. ගන්‍ධපුප්ඵිය ස්ථවිරාවදානය
1856. දක්‍ෂිණාර්‍හ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවැරුණාහු ආරාමයෙන් නික්මුනු සේක.
1857. මම මොහඳුරු දුරු කරන්නා වූ සර්‍වඥ වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සුවඳමල් පිදීමි.
1858. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජුන් කෙරෙහි (ඇතිකරගත්) ඒ චිත්තප්‍රාසාදය හේතු කොට ගෙන සතුටු වූයෙම් සතුටු සිතින් නැවත තථාගතයන් වැන්දෙමි.
1859. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1860. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චරණ නම් සක්විතිරජෙක් වීමි.
1861. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
ගන්‍ධපුප්ඵියස්ථවිරාවදානය නවවැනියි.
130. පදුමපූජක ස්ථවිරාවදානය
1862. හිමවතට නුදුරෙහි වෘක්‍ෂයන්ගෙන් ගැවසී ගත් මහාභූත සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්‍වතයක් විය.
1863. ඒ මධ්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්‍රමයක් විය. මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් අසපුවෙහි වෙසෙමි.
1864. “මාගේ ශිෂ්‍ය සමූහයෝ පැමිණෙත්වා! මට පියුම් ගෙණ එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේට පූජා කරන්නෙමු.”
1865. ඔහු එසේය යි මට පිළිවදන් දී පියුම් ගෙණාහ. එසේ ම මම (බුදුරජානන් වහන්සේ උදෙසා) නිමිත්තක් කොට ඒ සර්‍වඥයන් වහන්සේට පිදීමි.