126. කුසුමාසනිය ස්ථවිරාවදානය
1830. මම එකල්හි නිඝණ්ඩුශාස්ත්‍රය හා (කවීනට හිත වූ) කෛටභ ශාස්ත්‍රය සහිත ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද, ඉතිහාසයෙහි ද දක්‍ෂ වූයෙම් ධන්‍යවතී නගරයෙහි බමුණෙක් වීමි.
1831. පදපාඨ දන්නෙම් ව්‍යාකරණශාස්ත්‍රය දන්නෙම් නිමිතිශාස්ත්‍රයෙහි ද දක්‍ෂ වූයෙම් වේදත්‍රයෙහි පරතෙරට ගියෙම් ශිෂ්‍යයනට මන්ත්‍ර කියවීමි.
1832. මම දෙමාපියන් හමුවෙහි (ඔවුනට) පුදනු කැමැත්තෙම් වීමි. ඒ සඳහා මා විසින් උපුල් මිටි සතක් අස්නක තබන ලදී.
1833. එකල්හි නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරණ ලදුයේ සියලු දිගුන් බබුළුවමින් වැඩම කරයි.
1834. බුදුරජානන් වහන්සේ පවරා ඒ මල් අතුරා අසුනක් පණවා සිය ගෙදොරට වැඩම කරවීමි.
1835. ස්වකීය ගෘහයෙහි මට එළවා ලූ යම් ආහාරයක් ඇද්ද එය මම පහන් සිතැත්තෙම් සියතින්ම බුදුරජුහට පිදීමි.
1836. මම වළඳා අවසන් වූ උන්වහන්සේට සුදුසු කලැයි දැන මල් මිටක් ද පිරිනැමීමි. සර්‍වඥයන් වහන්සේ අනුමෝදනා කොට උත්තරදිශාභිමුඛ ව වැඩි සේක.
1837. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
1838. මෙයින් ඉක්බිති අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වරදස්සන නම් සක්විතිරජෙක් විය.
1839. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසුමාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
කුසුමාසනියස්ථවිරාවදානය සවැනියි.
127. ඵලදායක ස්ථවිරාවදානය
1840. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය මම හිමවතට නුදුරෙහි අසපුවක වසමි.
1841. මාගේ අගනිහොත්‍රයක් ද ඇත. මා විසින් ඇටඹපැල මුළක බහා ගසක් මුදුනෙහි එල්ලන ලදී.
1842. ලෝකයාගේ පූජාවන්ට භාජන වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ මා (සසරින්) ගොඩ නගනු කැමැත්තේ පිඬු පිණිස හැසිරෙමින් මා වෙත එළඹියේ ය.
1843-1844. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් බුදුරජුන්හට එ ම ඵල පිදීමි. මාගේ ප්‍රීතිය ඇති කරන්නා වූ මේ ලොව මැ සුව එළවන්නා වූ රන්වන් වූ ලෝවැස්සාගේ පූජාවන් පිළිගන්නාවූ ශාස්තෘ තෙමේ අහසෙහි වැඩ සිටියේ මේ ගාථාව වදාළේ ය:
1845. මෙ ම ඵලදානය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො එළෙඹේ ය (කියායි.)
1846. එම කුශලමූලය හේතු කොට ගෙණ ගෙණ සම්පත් අනුභව කොට ජය – පරාජය හැර අචලස්ථානය (නිවණ) ට පැමිණියෙම් වෙමි.
1847. මෙයින් සත්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමඞ්ගල නම් සක්විති රජෙක් වීමි.
1848. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළ සේක් යි.
ඵලදායකස්ථවිරාවදානය සත්වැනි යි.
128. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
1849. හිමවත් පව්වෙහි කඳුඅතුරෙහි වෙසෙමි. ශෝභන වූ වැලිතලාවක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
1850. “නුවණෙහි (සැසඳීමට) උපමාවක් නැත. ශාස්තෘන් වහන්සේට සංග්‍රාමයකුදු නැත. සියලු ධර්‍මයන් මොනවට දැන නුවණින් නිශ්චයට පැමිණේ.
1851. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. උතුම් නුවණ යම් තාක් ද, (ඒ තාක් නුවණැති) ඔබවහන්සේට නුවණින් සම කෙනෙක් නැත”.
1852. බුද්ධඥානයෙහි සිත පහදවා කැපක් මුළුල්ලෙහි මම ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
1853. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුද්ධ) ඥානසංඥාවක් ලැබුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො දනිමි. බුද්ධඥානසංඥාවෙහි මේ ප්‍රතිඵලය යි.