95. ගන්ධමාලිය ස්ථවිරාවදානය
1576. මම සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේට (සඳුන් - අගිල් - කපුරු කස්තුරි ආදිය වඩා) සුගන්ධස්තූපයක් කෙළෙමි. බුදුරජානන් වහන්සේට සුදුසු සේ කරණ ලද එය සමන්මල්වලින් වසන ලදී.
1577-1578. රන්ඇගෑවක් වැනි වූ ලෝකයෙහි අසහාය නායක වූ සර්වඥ වූ උදුල උපුල් මලක් වැනි වූ ඇවිළුනු ගින්නක් වැනි, ශ්රේෂ්ඨ ව්යාඝ්රයෙකු මෙන් උතුම් වූ, විශිෂ්ට ජන්ම ඇති කේශර සිංහයෙකු වැනි, භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලද, ශ්රමණයන්ට අග්ර වූ බුදුරජානන් වහන්සේ ද බුදුරජානන් වහන්සේගේ ශ්රීපාදයුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1579. යම් හෙයකින් සිවුඅනූවන කපෙහි යම් ගඳමල් පූජාවක් කරණලද ද, බුදුරජුන් විෂයයෙහි කරන ලද ඒ පුණ්යකර්මයාගේ විපාකය හේතු කොට ගෙන මම විශේෂයෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1580. එකුන්සතළිස්වන කපෙහි දෙවගන්ධ නම් වූ ඒ සොළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
1581. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ගන්ධමාලියස්ථවිරාවදානය පස්වැනියි.
96. තිපුප්ඵිය ස්ථවිරාවදානය
1582. මම පෙර මහවෙනෙහි වැද්දෙක් වීමි. (විපස්සී බුදුරජුන්ගේ) නිල්වන් වූ පළොල්බෝධිය (=පාටලී බෝධිය) දැක (එයට) මල් තුණක් විසිරවීම් (පිදීමි).
1583-1584. මම එකල්හි වැටුනු බෝකොළ (අවුලා) ගෙණ පිටත දැමීමි. ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ (කෙලෙසුන්ගෙන්) මැනැවින් මිදුනු, ආස්රව රහිත වූ ලෝකනායක වූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහි දී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කලුරිය කෙළෙමි.
1585. මෙයින් එක්අනූවන කපෙහි යම් බෝධිපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකයයි.
1586. මෙයින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් වූ සක්විතිරජවරු තෙළෙස් දෙනෙක් වූහ.
1587. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
තිපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.
97. මධුපිණ්ඩික ස්ථවිරාවදානය
1588-1589. අල්පශබ්ද අති, නිරාකූල වූ මහවනයෙහි දී ඍෂීන්ට ශ්රේෂ්ඨ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් වැනි වූ නිවී ගිය අත්බැව් ඇති අතිශ්රේෂ්ඨ වූ උත්තම ආජානීයයකු වැනි ඕසධී තරුව මෙන් බබලන්නා වූ දිව්යසමූහයා විසින් නමස්කාර කරනලද සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ දැක මට මහත් ප්රීතියක් වී ය. එකෙණෙහි නුවණ ද උපන්නේ ය.
1590. සමාධියෙන් නැගී සිටි ඒ බුදුරජානන් වහන්සේට මී දී ඒ බුදුරජානන් වහන්සේගේ ශ්රීපාදයුග්මය ද වැඳ නැගෙනහිර දෙසට මුහුණ ලා ගියෙමි.
1591. සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභය කරණ) භෝජනයෙහි ද නෙළුඹුපැනි වැගිරේ. මීවැසි ද වැස්සේ ය. පූර්වකර්මයාගේ මේ විපාකය යි.
1592. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් මීපැණි දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාකයයි.
1593. මෙයින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිවුසක්විති රජකෙනෙන් වූහ.
1594. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
මධුපිණ්ඩිකස්ථවිරාවදානය සත්වැනියි.