9.
ආටානාටිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්‍ෂසේනායෙන් ද මහත් ගන්‍ධර්‍ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර කරුවන් රඳවා, රෑ (පෙරයම) ඉක්මි කල්හි, අභිකාන්ත වූ ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිජුකුළු පව්ව එකලු කොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹැ ඔබ ආදරයෙන් වැඳ එකත් පස් වැ හුන්හ. (ඔවුන් පිරිවර වූ) ඒ යක්කු ද ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක උන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ, සිතැ රැඳැවියැ යුතු වූ කථාව නිමවා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එක් පසෙක හුන්හ.
2. එක් පසෙක හුන් ම වෙසවුණු මහරජ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහ තෙදැති යක්කු වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ හීන තෙ ඇති යක්කු ද වෙත් ම ය, වහන්ස භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙද ඇති යක්කු ද වෙත් ම ය.
වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළැක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්කාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසවායෙන් නො වැළැක්කාහු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය, ඔවුනට ඒ (භාග්‍යවතුන් වහන්සේ ගේ) දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ හුදෙකලා වැ කළ යුතු ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වනප්‍රස්ථයන් (ග්‍රාමෝපාචරයෙන් දුරැ වූ සෙනසුන්) ද, (මනුෂ්‍යෝපචාර විරහිත) බොහෝ දුරැ සෙනසුන් ද සේවනය කෙරෙත් ද භාග්‍යවතුන් වහන්සේ ගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි නො පහන් වූ ඒ සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස මහණුන් ගේ මෙහෙණන් ගේ උවසුවන්ගේ උවැසියන් ගේ ගුප්තිය පිණිස, ආරක්‍ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව” යි (කීයේ ය). භාග්‍යවතුන් වහන්සේ නිහඬ වැ ඉවසූ සේක.
3. ඉක්බිති වෙසවුණු මහ රජ භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන, ඒ වේලෙහි මේ ආටානාටිය පිරිත කීයේ ය:
4. “පසැස් ඇති සිරිමත් වූ විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා.
සෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා,
බාහිත පාපී වූ, වැ නිමැ වූ මඟ බඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.