10.
සඞ්ගීති සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා හා මල්ල රටෙහි සැරි සරන සේක්, පාවා නම් වූ මල්ල රජුන්ගේ නගරය යම් තැනෙක ද, එයට වැඩ වදාළ සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරැ චුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ අඹවෙනෙහි වාසය කරන සේක.
2. එ සමයෙහි වූ කලි පාවා නුවරැ වැසි මල්ල රජුන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරය කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ මිනිස් වූ කිසි දු කෙනකු විසින් වාසග්‍රහණ වශයෙන් පරිභෝග නො කරන ලදුයේ වෙයි. පාවා නුවරැ වැසි මල්ලයෝ ‘භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් භික්‍ෂු සඞ්ඝයා කැටුව මල්ල රටැ සැරි සරන්නාහු පාවා නුවරට වැඩියාහු, එහි චුන්‍දකර්‍මාරපුත්‍රයාගේ අඹ වෙනෙහි වසන සේක් ලැ’ යි ඇසූහ. ඉක්බිත්තෙන් පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ, පසෙක හිඳගත්හ. පසෙක හිඳගත්තාවූ ම පාවා නුවරැ වැසි මල්ලයෝ, “වහන්ස, මෙහි පාවා නුවරැ වැසි මල්ලයන්ගේ උබ්හතක නම් අළුත් සන්‍ථාගාරයෙක් කරවන ලද නොබෝ කල් ඇත්තේ, මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ කිසි දු මිනිස් වූවක්හු විසින් වාසග්‍රහණ විසින් අපරිභුක්ත වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමුවෙන් පරිභෝග කරන සේක් වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවෙන් පරිභෝග කරන ලද එය පසු වැ පාවා නුවරැ වැසි මල්ලයෝ පරිභෝග කරන්නාහ. එය පාවෙයක මල්ලයනට බොහෝ කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ කීහ.
3. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. එ කල්හි පාවෙයක මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියාව දැන, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සාදර වැ වැඳ පැදකුණු කොට, සන්‍ථාගාරශාලාව කරා ගියහ. ගොස් සන්‍ථාගාරය සියලු තැන බුමුතුරුණු අතුට, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ සාදර වැ වැඳ එක් පසෙක සිටියාහ.
එක් පසෙකැ සිටියා වූ ම ඒ පාවෙයක මල්ලයෝ ‘වහන්ස, සන්‍ථාගාරශාලාව හැම තැනම බුමුතුරුණු අතුරන ලද්දේ ය, අසුන් පැනැවිණ, දියසැළෙක් තැබිණ, තෙල් පහනෙක් නැංවිණ. යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වනු සේක් ද, දැන එයට කල් පැමිණියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
4. එ කලැ භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන භික්‍ෂුසඞ්ඝයා කැටුවැ සන්‍ථාගාරය කරා එළැඹි සේක. එළැඹ පා දෙවැ සන්‍ථාගාරයට පිවිසැ, එහි මැද ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. භික්‍ෂුසඞ්ඝයා ද පා දෙවැ, සන්‍ථාගාරයට පිවිසැ පැසිම් බිත්තිය නිසා, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පා දෙවැ සන්‍ථාගාරයට වැද, පෙරදිගැ බිත්තියට පිටු දී, පැසිම් දිගට මුහුණු ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් පාවෙයක මල්ලයනට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි ඔවුන් සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත් සතුටු කොට, ‘වාශිෂ්ඨයෙනි, රාත්‍රිය බොහෝ ඉක්මිණ, සිය ගෙවලට යම් පෙරළා යෑමක් කළ යුතු ද, දැන් එයට කල් නියාව දනිවු’ යැ යි ඔවුන් නික්මැ යන්නට උද්‍යෝගී කළ සේක. ‘එසේ යැ වහන්සේ’ යි කියා ම පාවා නුවරැ වැසි මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී, ඔබ සාදර වැ වැඳ පැදකුණු කොට නික්මැ ගියාහ.
5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පාවෙයක මල්ලයන් නික්මැගිය නොබෝ වේලායෙහි, නිහඬ නිහඬ වැ හුන් බික්සඟන දෙස බලා සැරියුත් තෙරුන් බණවා, ‘ශාරිපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝ තෙමේ පහ වූ ථීනමිද්ධය ඇත්තේ වෙයි, ශාරිපුත්‍රයෙනි, ඔබට භික්‍ෂූන් පිණිස ධර්‍ම කථාවෙක් වැටැහේ වා (භික්‍ෂූනට දහමක් දෙසන්නැ), මා පිට රිදෙයි එ හෙයින් මම් හෝනෙමි’ යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
එයින් පසු භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පට කොට පණවා (එළා), උත්‍ථානසංඥාව සිත්හි කොට (මෙතෙක් වෙලායෙන් නැඟී සිටිමි යි ඉටා), දකුණු පය මතැ වම් පය මඳක් ඉක්මැ තබා දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.