11.
දසුත්තර සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි:
භාග්යවතුන් වහන්සේ එක් සමයෙක්හි භික්ෂූන් පන්සියයක් පමණ වූ මහත් භික්ෂුසඞ්ඝයා සමග චම්පා නුවර සමීපයෙහි ගර්ගරා පොකුණු තෙරැ වැඩ වසන සේක.
එහි දී වනාහි සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි භික්ෂූන් ඇමැතූහ. ‘ඇවැත්නි’ යි කියා ම ඒ භික්ෂුහු සැරියුත් තෙරුනට පිළිවදන් දුන්හ. සැරියුත් තෙරණුවෝ මෙය වදාළාහ:
නිවන් පැමිණෙනු පිණිස, දුක් කෙළවර කරනු පිණිස, සියලු කෙලෙස් ගැට ලිහන දශෝත්තර ධර්මය (ඒකකය පටන් කොට දශකය හිම් කොට සංඛ්යා විසින් නැඟී ගිය ධර්ම සමුදාය වූ සූත්ර දේශනාව) කියන්නෙමි.
ඒකධර්ම
2. ඇවැත්නි, බහුප්රකාර වූ එක් ධර්මයෙක. භාවයිතව්ය (වැඩියැ යුතු) එක් ධර්මයෙක. පරිඡ්ඤේය (පිරිසින්දැ යුතු) එක් ධර්මයෙක. ප්රහාතව්ය (පහ කළ යුතු) එක් ධර්මයෙක. හානභාගික (පිරිහීම බජන, අපායගාමී) එක් ධර්මයෙක. විශේෂභාගික (විශේෂ ගුණ ලැබීම පිණිස පවත්නා) එක් ධර්මයෙක. දුෂ්ප්රතිවිධ්ය (දුකසේ පිළිවිදියැ යුතු) එක් ධර්මයෙක. උත්පාදයිතව්ය (ඉපැදැවියැ යුතු) එක් ධර්මයෙක. අභිඡ්ඤේය (ඥාතපරිඥායෙන් වෙසෙයින් දත යුතු) එක් ධර්මයෙක. සාක්ෂාත් කර්තව්ය එක් ධර්මයෙක.
බහුපකාර වූ එක් ධර්මය කවර යැ? කුසල්දහම්හි අප්රමාදය යැ. මේ බහූපකාර වූ එක් ධර්මය යැ.
භාවයිතව්ය එක් ධර්මය කවර යැ? සුඛවේදනාසම්ප්රයුක්ත කායගතාස්මෘතිය ය (ආනාපාන චතුඉරියාපථ, සතිසම්පජඤ්ඤ, ද්වත්තිංසාකාර, චතුධාතුවවත්ථාන, දසඅසුභ, නවසීවථිකා, චුණ්ණිකමනසිකාර, කේසාදීන්හි වැඩූ සතර රූපධ්යාන යන මේ දෑ බැවීමෙහි උපන් සිහිය ය). මේ භාවයිතව්ය (වැඩියැ යුතු) ධර්මය යැ.
පරිඥේය (පිරිසින්දැ යුතු) එක් ධර්මය කවර යැ? ආස්රව උපාදාන දෙකට ම ප්රත්යය වූ ස්පර්ශය යැ. මේ පරිඥේය එක් ධර්මය යැ.
ප්රහාතව්ය (පහ කළ යුතු) එක් ධර්මය කවර යැ? අස්මිමානය යැ. මේ ප්රහාතව්ය එක් ධර්මය යැ.
හානභාගික එක් ධර්මය කවර යැ? අයෝනිසෝමනස්කාරය යැ. මේ හානභාහික එක් ධර්මය යැ.
විශේෂභාගික එක් ධර්මය කවර යැ? යෝනිසෝමනස්කාරය යැ. මේ විශේෂභාගික එක් ධර්මය යැ.
දුෂ්ප්රතිවිධ්ය එක් ධර්මය කවර යැ? ආනන්තරික චිත්තසමාධිය (විදර්ශනාවට අනතුරු මාර්ගය) යැ. මේ දුෂ්ප්රතිවිධ්ය එක් ධර්මය යැ.
උත්පාදයිතව්ය එක් ධර්මය කවර යැ? අකෝප්ය ඥානය (ප්රත්යවේක්ෂණ ප්රඥාව) යැ. මේ උත්පාදයිතව්යු එක් ධර්මය යැ.
අභිඥෙය එක් ධර්මය කවර යැ? සියලු සත්හු ආහාරයෙන් (ප්රත්යයයෙන්) සිටුනාහු ය යන්න යැ. මේ අභිඥෙය එක් ධර්මය යැ.
සාක්ෂාත්කර්තව්ය (ප්රත්යක්ෂ කළ යුතු) එක් ධර්මය කවර යැ? අකෝප්ය චේතෝවිමුක්තිය (අර්හත්ත්වඵලවිමුක්තිය) යැ. මේ සාක්ෂාත් කර්තව්ය එක් ධර්මය යැ.
මෙසේ භූත වූ (සැබැවින් ඇති) තථ්ය වූ (ඇති සැටි ම වූ) තථ (කී පරිදි ම වූ) අවිතථ (කී පරිදි ම මිස අන් සැටියක් නැති) අනන්යථ (අන්සැටියෙකින් නැති) මේ දශ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මොනොවට තමන් ම අවබෝධ කරන ලදහ.
දෙදෙනෙක් ධර්මයෝ
3. බහුපකාර වූ ධර්මදෙකෙක. භාවයිතව්ය ධර්මදෙකෙක. පරිඥේය ධර්ම දෙකෙක. ප්රහාතව්ය ධර්ම දෙකෙක. හානභාගික ධර්ම දෙකෙක. විශේෂභාගික ධර්ම දෙකෙක. දුෂ්ප්රතිවිධ්ය ධර්ම දෙකෙක. උත්පාදයිතව්ය ධර්ම දෙකෙක. අභිඥෙය ධර්ම දෙකෙක. සාක්ෂාත්කර්තව්ය ධර්ම දෙකෙක.
බහුපකාරධර්ම දෙක කවර යැ? සතියත් (සිහියත්) සම්පජඤ්ඤයත් (නුවණත්) ය. මේ බහුපකාර ධර්ම දෙක යැ.
භාවයිතව්ය ධර්ම දෙක කවර යැ? ශමථයත් විදර්ශනාවත් යැ. මේ භාවයිතව්ය (වැඩියැ යුතු) ධර්ම දෙක යැ.