පාථික වර්ගය
ඒ භාග්යවත් අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1.
පාථික සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ, මල්ල රටැ - මල්ලයන්ගේ අනුපියා නම් යම් නියම්ගමෙක් වී ද - එහි වැඩ වසන සේක.
එ කලැ භාග්යවතුන් වහන්සේ පෙර වරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, අනුපියා නිගමයට පිඬු පිණිස වන් සේක. එ කල්හි (එසේ වඩනා) භාග්යවතුන් වහන්සේට ‘අනුපියා නිගමයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම ඉතා උදාසන ය. මේ භාර්ගවගෝත්ර පිරිවැජ්ජාගේ අරමට, භාර්ගවගෝත්ර පිරිවැජ්ජා කරා, ගියෙම් වීම් නම් යෙහෙකැ’ යි මෙ සිත විය.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ භාර්ගවගෝත්ර පිරිවැජ්ජාගේ ආරාමය යම් තැනෙක ද, භාර්ගවගෝත්ර පිරිවැජ්ජා යම් තැනෙක ද, එ තැනට වැඩි සේක. එකල්හි භාර්ගවගෝත්ර පිරිවැජි තෙම භාග්යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්යවතුන් වහන්සේ මෙහි වඩිනා සේක් වා, වහන්ස, භාග්යවතුන් වහන්සේ මෙහි වැඩි සේ මැනව, වහන්ස, භාග්යවතුන් වහන්සේ අද මෙහි වැඩියේ බොහෝ කලකට පසු යැ, වහන්ස, භාග්යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක් වා, මේ අස්නෙක් පනවන ලද්දේ වේ’ යැ යි මේ වචන කී ය. පනවන ලද අස්නෙහි භාග්යවතුන් වහන්සේ වැඩ හුන් සේක. භාර්ගවගෝත්ර පිරිවැජි ද එක්තරා මිටි අස්නෙක් ගෙන පසෙක ඉඳ ගත.
3. එකත් පස් වැ හුන්නා වූ ම භාර්ගවගෝත්ර පිරිවැජි තෙමෙ භාග්යවතුන් වහන්සේට මෙ බස් පැවැසී ය:
“වහන්ස, පෙර දවසැ, බොහෝ පෙර දවසැ, ලිච්ඡවීරාජපුත්ර සුනක්ඛත්ත තෙමේ මා වෙත ආයේ ය. අවුත්, ‘භාර්ගවය, දැන් මා විසින් භාග්යවතුන් වහන්සේ පරිත්යක්ත සේක. මම් භාග්යවතුන් වහන්සේගෙන් වෙන් වීමි. භාග්යවතුන් වහන්සේ උදෙසා නො වෙසෙමි’ යි මට සැළ කෙළේය. වහන්ස, කිමෙක් ද? මෙය ලිච්ඡවීපුත්ර සුනක්ඛත්තයා කී සේ ම වී ද?” (යනු යැ).
4. “භාර්ගවය, මෙය ලිච්ඡවීපුත්ර සුනක්ඛත්තයා කී සේ ම විය. භාර්ගවය, පෙර දවසැ බොහෝ පෙර දවසැ, ලිච්ඡවීපුත්ර සුනක්ඛත්තයා මා වෙත ආයේ ය, අවුත් මා වැඳ, පසෙක ඉඳ ගත්තේ ය, එසේ හුන්නේ ම “වහන්ස, මම් දැන් භාග්යවතුන් වහන්සේ හැරපියා යෙමි, වහන්ස, මම් භාග්යවතුන් වහන්සේ උදෙසා නො වසන්නෙමි” යි කී ය. භාර්ගවය, ඔහු මෙසේ කී කලැ, මම් ඔහු අමතා,
‘සුනක්ඛත්තය, තෝ මෙහි එව, මා උදෙසා වසව’ යි මම් තට කිම් දැ?’ යි ඔහු පුළුවත්මි.
‘වහන්ස, එසේ වූ කථාවෙක් නො වී යැ’ යි හේ කී ය.
“තෝ හෝ මට ‘මම් භාග්යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි කීහි දැ?” යි පුළුවත්මි.
‘වහන්ස, මෙසේ වූ කථාවෙක් ද නො වී’ යැ යි හේ කිව.
“සුනක්ඛත්තය, මෙසේ ‘මෙහි එව මා උදෙසා වසවැ’ යි මම් තට නො ම කීමි. ‘මම් භාග්යවතුන් වහන්සේ උදෙසා වසන්නෙමි’ යි තෝ ද මට නො කී ය. හිස් මිනිස, මෙසේ ඇති කලැ, තෝ කවරෙක් වනුයෙහි, කවරක්හු හැරපියා යෙහි ද? හිස් මිනිස, මෙහි ලා තා කෙළේ කොතරම් මහත් වරදෙක් දැ? යි සලකා බලව” යි මම් ඔහුට කීමි.
5. එවිටැ, ‘වහන්ස, භාග්යවතුන් වහන්සේ මට උතුරුමිනිස් දහමින් පෙළහර නො කරන සේකැ’ යි සුනක්ඛත්තයා කී ය. එවිටැ
‘සුනක්ඛත්තය, තෝ එව, මා උදෙසා වසව, මම් තට උතුරුමිනිස් දහමින් පෙළහර කරන්නෙමි’ යි තා අමතා මම් කීයෙම් දැ?’ යි ඔහු පුළුවත්මි.