8.
සිගාලක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා කලන්දක නිවාප නම් වූ වේළුවන අරමැ වැඩ වසන සේක. එ කල්හි සිගාලක නම් ගැහැවි පුත් කලින් ම (උදාසනක් සේ ම) නැඟී සිට, රජගහ නුවරින් නික්මැ ගොස්, තෙත් රෙදි ඇත්තේ, තෙත් කෙහෙ ඇත්තේ, දොහොත් මුදුනැ තබා ගත්තේ පෙර දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද යන බොහෝ දිශාවන් වඳී.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ, පා සිවුරු ගෙන, රජගහ නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ, කලින් ම නැඟී සිට රජගහ නුවරින් නික්මැ, තෙත් වස්ත්‍ර ඇති ව, තෙත් කෙහෙ ඇතිව, දොහොත් මුදුනැ තබා ගෙන, පෙර දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද, වඳනා සිගාලක ගැහැවි පුතු දුටු සේක් ම ය. දැක, ඔහු බණවා, ‘ගැහැවි පුත, කවර හෙයින් තෙපි කල් තබා ම නැඟී සිට රජගහ නුවරින් නික්මැ, තෙත් වස්ත්‍ර ඇත්තෙහි, තෙත් කෙහෙ ඇත්තෙහි, දොහොත් මුදුන් තබාගෙන, පෙර දෙස, දකුණු දෙස, අවර දෙස, උතුරු දෙස, යට දෙස, උඩ දෙස යන බොහෝ දිශාවන් වඳිවු දැ?” යි අසා වදාළ සේක.
“වහන්ස, මා පියා කලුරිය කරනුයේ, ‘දරුව, දිශාවන් වඳුව’ යි මට මෙසේ කී ය. වහන්ස, ඒ මම් පියාගේ වචනයට සත්කාර කරනුයෙම්, ගරුකාර කරනුයෙම්, බුහුමන් කරනුයෙම්, පූජා කරනුයෙම්, කලින් ම නැඟී සිට රජගහ පුරයෙන් නික්මැ, තෙත් රෙදි ඇති ව, තෙත් කෙහෙ ඇති ව, දොහොත් මුදුනැ තබාගෙන, පෙර දෙස … උඩ දෙස වඳිමි’ යි (සිගාලක තෙමේ) කී ය.
‘ගැහැවි පුත, ආර්‍ය්‍ය විනයයෙහි ස දෙස්හු මෙසේ නො වැන්ද යුත්තාහ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘වහන්ස, කෙසේ නම් ආර්‍ය්‍ය විනයයෙහි ස දෙස්හු වැන්ද යුත්තාහු ද? වහන්ස, ආර්‍ය්‍යවිනයයෙහි යම්සේ ස දෙස්හු වැන්ද යුත්තාහු නම්, එසේ භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසන සේක් වා’ යි ගැහැවි පුත් කී ය.
ස දිසා
3. ‘ගැහැවි පුත, එසේ වී නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
එසේ ය, වහන්සැ’ යි ම සිගාලක ගැහැවි පුත් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“ගැහැවි පුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සතර කර්මක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද, යම් හෙයෙකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සතර කරුණෙකින් පව්කම් නො කරයි ද, යම් හෙයෙකින් භෝගයන්ගේ විනාශමුඛ සයත් නො සෙවී ද, හෙ තෙමේ මෙසේ තුදුස් ලාමක කම්වලින් පහ වූයේ ස දිසාවන් වසාලනුයේ, දෙලෝ ජය ගැන්ම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොව ද ආරාධිත වෙයි, පරලොව ද ආරාධිත වෙයි. හේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණෙයි.
කර්ම ක්ලේශ
4. ඔහුගේ කවර සතර දෙනෙක් කර්ම ක්ලේශයෝ (අත්බව කිලිටි කරන කර්ම) ප්‍රහීණ වෙත් ද? ගැහැවිපුත, ප්‍රාණඝාතය වනාහි කර්ම ක්ලේශයෙකි, අදත්තාදානය කර්ම ක්ලේශයෙකි, කාමයන්හි වරදවා හැසිරීම කර්ම ක්ලේශයෙකි, මෘෂාවාදය කර්මක්ලේශයෙකි. ඔහුගේ මේ ක්ලේශයෝ ප්‍රහීණ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ නැවැත ගාථා බන්ධන වශයෙන් අනෙකක් වූ මෙය වදාළ සේක:
පණිවා ද, අයිනාදන් ද, මුසවා යැ යි යමෙක් කියනු ලැබේ නම් එය ද, පරඹුන් කරා යෑම ද යන මේ දෑ නුවණැත්තෝ නො පසසත්.
අගති ගමන
5. (ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ) කවර සතර කරුණෙකින් පව්කම් නො කෙරේ ද යත්: (පුහුදුන්තෙමේ), ඡන්දයෙන් අගතියට යනුයේ (කො කටයුත්තක් කරනුයේ) පව්කම් කරයි, ද්වේෂයෙන් අගතියට යනුයේ පව්කම් කරයි, බියෙන් අගතියට යනුයේ පව්කම් කරයි, මෝහයෙන් අගතියට යනුයේ පව්කම් කරයි. ගැහැවිපුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඡන්දයෙන් අගතියට නො ම යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො ම යන්නේ ද, බියෙන් අගතියට නොම යන්නේ ද, මෝහයෙන් අගතියට නො ම යන්නේ ද, හේ මේ සතර කරුණින් පව්කම් නො කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, නැවත ගාථාබන්ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළ සේක:
‘ඡන්දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද යමෙක් යුක්තිධර්මය ඉක්මැ යේ ද, කළුවර පසැ සඳුහු මෙන්, ඔහුගේ යශස පිරිහෙයි.’