4.
අග්ගඤ්ඤ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වාශිෂ්ඨ භාරද්වාජ යන හෙරණ දෙ නම භික්ෂුභාවය (උපසපුව) පතන්නාහු භික්ෂූන් කෙරෙහි පිරිවෙසෙත්, එකල්හි භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක්. පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණෙහි එළිමහනෙහි සක්මන් කරන සේක. වාශිෂ්ඨ හෙරණ තෙම, සවස් වේලෙහි පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන භාග්යවතුන් වහන්සේ දිටී. දැක භාරද්වාජ හෙරණහු බණවා, ‘ඇවැත්නි, භාරද්වාජයෙනි, මේ භාග්යවතුන් වහන්සේ සවස් වේලේ පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන සේක. ඇවැත්නි, භාරද්වාජයෙනි, එමු. භාග්යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමු. භාග්යවතුන් වහන්සේ වෙතින් ධර්ම කථාවක් අසන්නට ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඇවැත්නි’ යි කියා ම භාරද්වාජ තෙම වාශිෂ්ඨයාට පිළිවදන් දුන. ඉක්බිති වාශිෂ්ඨ භාරද්වාජ දෙ නම භාග්යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැඳ, සක්මන් කරන භාග්යවතුන් වහන්සේ අනුව සක්මන් කළහ.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ වාශිෂ්ඨයා බණවා, ‘වාශිෂ්ඨයෙනි, තෙපි වූ කලි බ්රාහ්මණජාතික වූ බ්රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්රාහ්මණ කුලය හැර ගිහිගෙන් නික්ම සසුන් වන්නෝ වහු. කිමෙක් ද වාශිෂ්ඨයෙනි, තොපට බ්රාහ්මණයෝ ආක්රෝශ නො කෙරෙත් ද? පරිභව නො කෙරෙත් දැ?’ යි අසා වදාළ සේක.
‘වහන්ස, ඒකාන්තයෙන් ම බ්රාහ්මණයෝ අපරිපූර්ණ නො වූ (අතරැ නොනැවැති) පරිපුර්ණවූ (නිරතුරු වූ) තමනට හුරු වූ පරිභව වචනයෙන් අපට ආක්රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්’ යැ යි හේ කී ය.
‘වාශිෂ්ඨයෙනි, අපරිපූර්ණ නොවූ පරිපූර්ණ ම වූ තමනට හුරු වූ පරිභව වචනයෙන් කෙසේ නම් තොපට බ්රාහ්මණයෝ ආක්රෝශ පරිභව කෙරෙත් දැ?’ යි භාග්යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, ‘බ්රාහ්මණ වර්ණය ම ශ්රේෂ්ඨ ය, අන්ය වර්ණයෝ පහත් හ. බ්රාහ්මණවංශය ම ශුක්ලවර්ණ ය, ඉතිරි තුන් වංශයෝ ම කෘෂ්ණවර්ණ හ. බ්රාහ්මණයෝ ම ශුද්ධ වෙත්. බ්රාහ්මණ නොවූවෝ ශුද්ධ නොවෙත්. බ්රාහ්මණයෝ ම බඹහුගේ මුවින් බිහි වූ, බඹහුගෙන් උපන්, බඹහු විසින් මවන ලද, (වේදවේදාඞ්ගාදි) බඹහුගේ දෑවැද්දට උරුම කරු වූ, බඹහුගේ ඔෳරස පුත්රයෝ ය. ඒ තෙපි ශ්රේෂ්ඨ වර්ණය හැරැදමා, ගැහැවි වූ කලු වූ මාරපාක්ෂික වූ, බඹහුගේ පයින් උපන් මුඩු මහණුන් වූ හීන වර්ණයකට බටුවෝ වහු. ශ්රේෂ්ඨ වර්ණය හැරැලා ගැහැවි වූ කලු වූ මාරපාක්ෂික වූ බඹහුගේ පයින් උපන් මුඩුමහණුන් වූ හීන වර්ණයකට පැමිණියහු ය යන යමෙක් ඇද්ද, එය නො මැනව, එය නො සුදුසු යැ’ යි, වහන්ස, මෙසේ අපරිපූර්ණ නො වූ, පරිපූර්ණ ම වූ, තමනට හුරුවූ ගැරහුම් බසින් අපට ආක්රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්” යැ යි වාශිෂ්ඨ තෙම කී ය.
‘වාශිෂ්ඨයෙනි, බ්රාහ්මණයෝ ඒකාන්තයෙන් ම පුරාණ කථාව (ලෝකෝත්පත්තිචර්ය්යාවංශය) සිහි නො කරන්නාහු. ‘බ්රාහ්මණයෝ ම ශ්රේෂ්ඨ වර්ණය ය, අන් වර්ණයෝ හීනයහ, බ්රාහ්මණයෝ ම ශුක්ල වර්ණය ය, අන්ය වර්ණයෝ කෘෂ්ණයහ, අබ්රාහ්මණයෝ නො ව බ්රාහ්මණයෝ ම ශුද්ධ වෙත්, බ්රාහ්මණයෝ ම බ්රාහ්මයාගේ මුඛයෙන් බිහි වූ, බ්රහ්මයාගෙන් උපන් බ්රහ්මයා විසින් මවන ලද, බ්රහ්මයාගේ දායාද වූ, බ්රහ්මයාගේ ඔෳරස පුත්රයෝ’ යි කියත්. වාශිෂ්ඨයෙනි, බ්රාහ්මණයන්ගේ ඔසප් වූ ද, ගැබිනි වූ ද, වදන්නාවූ ද, (දරුවනට) කිරි පොවන්නාවූ ද බැමිණියෝ දක්නා ලැබෙත්. ඒ බමුණෝ යෝනියෙන් උපන්නෝ වන්නාහු බ්රාහ්මණවර්ණය ම ශ්රේෂ්ඨය … බ්රහ්මයෝ ම බ්රහ්මයාගේ දායාද වූ බ්රහ්මයාගේ ඔෳරසපුත්රයෝ යැ යි මෙසේ කියත්. එසේ කියන්නාහු බ්රහ්මයාට ම නින්දා කෙරෙත්, මුසවා තෙපලත්, බොහෝ අකුසල් ද රැස් කෙරෙත්.
missing translation
3. වාශිෂ්ඨයෙනි, ක්ෂත්රිය, බ්රාහ්මණ, වෛශ්ය, ශුද්ර යැ යි මේ වර්ණ සතරෙකි. වාශිෂ්ඨයෙනි, මෙහි එක්තරා ක්ෂත්රියයෙක් ද පණිවා කරන සුලු වෙයි. නොදුන් දෑ ගන්නා සුලු වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන සුලු වෙයි. මසුවා බණන සුලු වෙයි. පෙහෙසුන් තෙප්ලන සුලු වෙයි. පරොස් බස් කියන සුලු වෙයි. සම්ඵප්රලාප දොඩන සුලු වෙයි. අභිධ්යා බහුල වෙයි. ව්යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටි ගත්තෙක් වෙයි. වාශිෂ්ඨයෙනි, මෙසේ අකුසල් යැයි කියන ලද, අකුසල් ම වූ, වරද සහිත යැයි කියන ලද, වරද සහිත ම වූ, නොසෙවියැ යුතු යැ යි කියන ලද, නොසෙවියැයුතු ම වූ, ආර්ය්යභාවයට නොපොහොසත් යැ යි කියන ලද, ආර්ය්යභාවය සිදු කිරීමෙහි නො පොහොසත් ම වූ. කෘෂ්ණවිපාක ඇති, කෘෂ්ණම වූ, නුවණැත්තන් විසින් ගරහන ලද, යම් පාප ධර්ම කෙනෙක් වෙත් ද, ඒ ඇතැම් ලාමක ධර්මයෝ මෙහි ක්ෂත්රියයා කෙරෙහි ද දක්නා ලැබෙත්, … බ්රාහ්මණයා කෙරෙහි ද දක්නා ලැබෙත්. වෛශ්යයා කෙරෙහි ද දක්නා ලැබෙත් … ශුද්රයා කෙරෙහි ද දක්නා ලැබෙත්.