5.
සම්පසාදනීය සූත්‍රය
ශාරිපුත්‍ර සිංහනාදය
1. මා විසින් මෙසේ අසන ලදී:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවර සමීපයේ වූ පාවාරික සිටුහුගේ අඹ වෙනෙහි වැඩ වසන සේක. එ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ එකත්පස් වැ උන්හ. සැරියුත් තෙරණුවෝ එසේ එකත් පස්වැ උන්නාහු ම ‘වහන්ස, යම් සම්බෝධිඥානයෙක් වේ ද, එහි ලා (එයින්) භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙරත් නො වීය, මතුත් නො වන්නේ ය, දැනුත් නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදුණෙම් වෙමි’ යි මෙ වචන වදාළහ.
“ශාරිපුත්‍රයෙනි, ‘වහන්ස, යම් සම්බෝධිඥානයෙක් වේ ද, එයින් භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙරත් නො වීය, මතුත් නො වන්නේ ය, දැනුත් නැතැ’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි’ යි තොප විසින් උදාර වූ අභීත වචනයෙක් කියන ලද. ඒකාන්තයෙක් ගන්නා ලද. සිංහනාදයෙක් පවත්වන ලද. කිමෙක් ද ශාරිපුත්‍රයෙනි, ඉකුත් කල්හි යම් අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද ඒ සියලු භගවත්හු ඔවුන් වහන්සේගේ සිත් තොප සිතින් පිරිසිඳ ‘ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වූහයි, මෙබඳු දහම් ඇත්තෝ වූහ යි, ඒ භගවත්හු මෙසේ වූ ප්‍රඥා ඇත්තෝ වූහ යි, ඒ භගවත්හු මෙබඳු විහරණ ඇත්තෝ වූහ යි, ඒ භගවත්හු මෙබඳු විමුක්තියක් ඇත්තෝ වූහ’ යි කියා තොප විසින් දැනගන්නා ලද්දාහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස මෙය එසේ දැනගන්නා ලද්දේ නො වේ” යැ යි තෙරණුවෝ වදාළහ.
“කිම ශාරිපුත්‍රයෙනි, ‘මතු කල්හි යම් අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හු මෙ බඳු සිල් ඇත්තෝ වන්නාහ, මෙබඳු දහම් ඇත්තෝ වන්නාහ … මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ’ යි ඔවුන් වහන්සේගේ සිත් තොප සිතින් පිරිසිඳ ඒ භගවත්හු තොප විසින් දන්නා ලද්දාහු දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“මෙය එසේ නො දන්නා ලදැ” යි තෙරණුවෝ වදාළහ.
“කිම ශාරිපුත්‍රයෙනි, මෙ සමයෙහි මම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙමි. මේ භගවත්හු මෙසේ වූ සිල් ඇත්තෝය, මෙසේ වූ දහම් ඇත්තෝ ය, මෙසේ වූ ප්‍රඥා ඇත්තෝය, මෙසේ වූ විහරණ ඇත්තෝය, මෙසේ වූ විමුක්ති ඇත්තෝ යැ යි ද මා සිත තොප සිතින් පිරිසිඳ දැනගන්නා ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“මෙය එසේ නො ම දැනගන්නා ලදැ” යි තෙරණුවෝ වදාළහ.
“ශාරිපුත්‍රයෙනි, මෙහි ලා ඉකුත් කලැ වූ ද, මතු කල්හි වන්නාවූ ද, දැන් ඇත්තාවූ ද රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි ඔවුන් සිත් පිරිසිඳ දැන්මෙක් තොපට නැත. එසේ කලැ කවර නම් සැටියෙකින් තොප විසින් ‘වහන්ස, යම් සම්බෝධිඥානයෙක් වේ ද එයින් භාග්‍යවතුන් වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පෙරත් නො වී ය, මතුත් නොවන්නේ ය, දැනුත් නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි’ යි තොප විසින් මේ උදාර වූ ශ්‍රේෂ්ඨ වචනය කියන ලද ද? ඒකාංශය ගන්නා ලද ද, සිංහනාදය පවත්වන ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, අතීත අනාගය වර්‍තමාන රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි ඔබ සිත් පිරිසිඳ දන්නා නුවණෙක් මට නැත. වහන්ස, එහෙත් මට අනුමානඥානය ප්‍රකට ව ඇත. වහන්ස, යම්සේ රජක්හුගේ තර වූ පවුරුපා ඇති, දැඩි පවුරු තොරණ ඇති, එක් දොරක් ඇති පසල් නුවරෙක් වන්නේ ද, එහි නොදන්නා ලදුවන් වළක්වන, දන්නා ලදුවන් පිවිස්වන, පණ්ඩිත වූ ව්‍යක්ත වූ, නුවණ ඇති ද්වාරපාලයෙක් වන්නේ ද, හෙ තෙම් එනුවර හාත්පසැ පවුරු මඟ ඔස්සේ යනුයේ ප්‍රාකාරසන්‍ධියක් (ගඩොළු දෙකක් ගිලිහී ගිය තැනක්) හෝ ප්‍රාකාර විවරයක් (පවුර සිඳීගිය තැනක්) හෝ යටත් පිරිසෙයින් බළලකු රිංගා පිට වන පමණ සිදුරකුදු නො දක්නේ ද, එවිට ඔහුට යම් මහත් සත්ත්‍ව කෙනෙක් මෙ නුවරට වදනාහු නම්, මෙයින් නික්මෙන්නාහු නම් හෝ, උහු හැම මේ දොරින් ම පිවිසෙන්නෝ ද නික්මෙන්නෝ ද වෙත්’ යැ යි මෙසේ සිතෙක් වන්නේද, එ පරිද්දෙ ම වහන්ස, ගිය කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ සියලු භගවත්හු ම සිත කෙලසන, නුවණ දුඹුල් කරන, පංච නීවරණයන් දුරු කොට, සිවු සීවටන්හි මොනොවට පිහිටි සිතැත්තෝ, සම්බෝධ්‍යංග සත තත් වූ පරිදි වඩා, නිරුත්තර සම්‍යක් සම්බෝධිය ලදුවහු.