හානභාගික ධර්‍ම දශය කවර යැ? ප්‍රාණාතිපාතය අදත්තාදානය කාමමිථ්‍යාචාරය මෘෂාවාදය පිසුණවචනය පරුෂචවචනය සම්ඵප්‍රලාපය අභිධ්‍යාව ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්‍මපථ දශය යැ. මේ හානභාගික ධර්‍ම දශය යැ.
විශේෂභාගික ධර්‍ම දශය කවර යැ? ප්‍රාණවධයෙන් වැළැක්ම, අදත්තාදානයෙන් වැළැක්ම, කාමමිථ්‍යාචාරයෙන් වැළැක්ම, බොරුකීමෙන් වැළැක්ම, කේලාම් කීමෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, සම්ඵප්‍රලාපයෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය යන කුශල කර්‍මපථ දශය යැ. මේ විශේෂභාගික ධර්‍ම දශය යැ.
දුෂ්ප්‍රතිවිධ්‍ය ධර්‍ම දශය කවර යැ? ආර්‍ය්‍යවාස දශය යැ: ඇවැත්නි, මෙහි මහණ තෙම් අඞ්ග පසෙකින් වියුක්ත වූයේ, අඞ්ග සයෙකින් යුක්ත වූයේ, එක් ම ආරක්‍ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ සතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නොකැලැඹුණු කල්පනා ඇත්තේ, සංසිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිතැත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් වී යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අඞ්ග පසෙකින් වියුක්ත වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් යුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා … නැහැයෙන් ගඳක් අඝා … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ, නුවණින් දන්නේ, උපේක්‍ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් යුක්ත වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් එක ම ආරක්‍ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිහිය ම ආරක්‍ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කෙරෙයි, නුවණින් බලා එකක් ඉවත් කරයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.