අකුශල කර්‍මපථ දශයෙක: ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයන්හි වරදවා හැසිරීම, මුසා බස් බිණීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, ප්‍රලාප දෙඩීම, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය.
කුශල කර්‍මපථ දශයෙක: පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, පෙහෙසුන් තෙප්ලෙන් වැළැක්ම, පරොස් බසින් වැළැක්ම, ප්‍රලාප දෙඩීමෙන් වැළැක්ම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටිය.
ආර්‍ය්‍යවාස (උතුමන්ගේ විසුම්) දශයෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වූයේ, අඞ්ග සයෙකින් සමන්‍විත වූයේ, එක් ම ආරක්‍ෂාවක් ඇත්තේ, අපශ්‍රයණ අතරක් ඇත්තේ, මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙකසත්‍ය ඇත්තේ, නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ, නො කැළැඹුණු කල්පනා ඇත්තේ, සංහිඳුණු කායසංස්කාර ඇත්තේ, මොනොවට මිදුණු සිත් ඇත්තේ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග පසෙකින් විප්‍රයුක්ත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, ථීනමිද්ධය ප්‍රහීණ වෙයි, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වෙයි, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමෙ අංග පසෙකින් විප්‍රයුක්ත වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් අඞ්ග සයෙකින් සමන්‍විත වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක නො ම සතුටු ද වෙයි, නො ම නොසතුටු ද වෙයි. සිහි ඇත්තේ නුවණින් දන්නේ උපේක්‍ෂක වැ වෙසෙයි. කනින් හඬක් අසා, … නැහැයෙන් ගඳක් අඝා, … දිවින් රසක් විඳ, … කයින් හැපෙන දැයක් පැහැසැ, … මනසින් දහම් අරමුණක් සිතා නො ම සතුටු ද වෙයි, නො වෙයි, සිහි ඇත්තේ, නුවණින් ම නොසතුටු ද දන්නේ, උපේක්‍ෂක ද වැ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ අඞ්ග සයෙකින් සමන්‍විත වෙයි.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ එක ම ආරක්‍ෂාවක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමෙ සිහිය ම ආරක්‍ෂාව කොටැති සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම එක් ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම් මහණ තෙමේ අපශ්‍රයණ (ආධාර) සතරක් ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා එකක් සෙවියි, නුවණින් බලා එකක් ඉවසයි, නුවණින් බලා එකක් පහ කරයි, නුවණින් බලා එකක් ඉවත් කෙරෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ අපශ්‍රයණ සතරක් ඇත්තේ වෙයි.
ඇවැත්නි, කෙසේ නම්, මහණ තෙමේ මොනොවට බැහැරැ කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, බොහෝ මහණ බමුණන්ගේ යම් බොහෝ ප්‍රත්‍යෙක සත්‍ය කෙනෙක් (මේ දර්‍ශනය ම සත්‍ය යැ’ යි වෙන වෙන ම ඒ ඒ මහණබමුණන් විසින් දැඩි කොට සත්‍ය වශයෙන් පිළිගන්නා ලද දෑ) වෙත් ද, මෙ සස්නැ මහණහු විසින් ඔහු හැම බැහැරැ කරන ලද්දාහු, දුරු කරන ලද්දාහු, හැර දමන ලද්දාහු, පහ කරන ලද්දාහු, මුදන ලද්දාහු, එ හෙයින් ම ප්‍රහීණ වූවාහු සංහිඳුණාහු වෙත්, ඇවැත්නි, මහණ තෙමේ මෙසේ ම බැහැර කරන ලද ප්‍රත්‍යෙක සත්‍ය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො අඩු කොට මොනොවට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාම ඒෂණාව ප්‍රහීණ වෙයි, භව ඒෂණාව ප්‍රහීණ වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණාව සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට අනූන කොට දුරු කරන ලද ඒෂණා ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් නො කැළැඹුණු කල්පනා ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ කාමසංකල්පය ප්‍රහීණ වෙයි, ව්‍යාපාදසඞ්කල්පය ප්‍රහීණ වෙයි, විහිංසාසංකල්පය ප්‍රහීණ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ නො කැලැඹුණු සංකල්ප ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙමේ කෙසේ නම් සංහිඳුණු සංස්කාර ඇත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ සුඛවේදනාවගේ ද ප්‍රහාණයෙන් දුඃඛවේදනාවගේ ද ප්‍රහාණයෙන්, පළමු කොට ම සොම්නස් වේදනාවන් දුරු වීමෙන්, දුක් නොවූ සුව ද නොවූ උපේක්‍ෂාවගේ ද ස්මෘතියගේ ද පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ සංහිඳුණු කායසංස්කාරය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මහණ තෙම කෙසේ නම් මොනොවට මිදුණු සිතැත්තේ වේ ද යත්: ඇවැත්නි, මෙහි මහණහුගේ සිත රාගය කෙරෙන් මිදුණේ වෙයි, ද්වේෂය කෙරෙන් මිදුණේ වෙයි, මෝහය කෙරෙන් මිදුණේ වෙයි. ඇවැත්නි, මෙසේ ම මහණ තෙමේ මොනොවට මිදුණු සිතැත්තේ වෙයි.