මුලැ හෝ අගැ නොබුන් සිකපද ඇති, මැදැ නොබුන් සිකපද ඇති, පිළිවෙළින් දෙක තුන බැගින් නොබුන් සිකපද ඇති, අතරතුරැ නොබුන් සිකපද ඇති, තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු බුද්ධාදි විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්‍ශනය නො කරන ලද, සමාධිය පිණිස පවත්නා, ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්‍විත වෙයි.
ශ්‍රාමණ්‍යඵල (මහණකමේ ඵල) සතරෙකි. ශ්‍රෝත ආපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමි ඵලය, අර්‍හත්ත්‍වය ඵලය.
ධාතු සතරෙක: පෘථිවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායුධාතුව.
ආහාර සතරෙක: දළ වූ හෝ සියුම් වූ කබලීකාරාහාරය, දෙවෙනි ස්පර්‍ශාහාරය, තෙවෙනි මනස්සඤ්චේතනාහාරය, සතර වැනි විඥානාහාරය.
විඥානස්ථිතිහු (සිත සිටුනා තැන්) සතර දෙනෙක: ඇවැත්නි, (පඤ්චවෝකාර භවයෙහි) රූපස්කන්‍ධය ඇසුරු කොට, රූපස්කන්‍ධය ගොදුරු කොටැ රූපස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට, තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී. වැඩීමට වැවීමට මහත් බවට පැමිණේ. ඇවැත්නි, (චතුවෝකාර භවයෙහි) වේදනාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංඥාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංස්කාරස්කන්‍ධය ඇසුරු කොට, සංස්කාර ස්කන්‍ධය ගොදුරු කොට, සංස්කාර ස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී, වැඩීමට වැවීමට මහත් බවට පැමිණෙයි.
අගතිගමන සතරෙක: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යේ.
තෘෂ්ණෝත්පාද (තෘෂ්ණාව උපදනට අරමුණු) සතරෙක: ඇවැත්නි, මහණහට සිවුරු නිසා හෝ තෘෂ්ණාව උපදිනුයේ උපදී, පිණ්ඩපාතය නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, සෙනසුන් නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, ප්‍රත්‍යයයෙහි ප්‍රණීත බව් ප්‍රණීතතර බව් ආදි හේතුයෙන් ද මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී.
ප්‍රතිපත්ති සතරෙක: ලැසි වැ පැමිණෙන මාර්‍ගඥානය ඇති දුක සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති දුකසේ පිළිපදනා පිළිවෙත ය, ලැසි වැ ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත යි.
අන්‍ය දු ප්‍රතිපත්ති සතරෙක: (ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීමෙහි දී) ශීතාදිය නො ඉවසන බව ඇති පිළිවෙතය, ශීතාදිය ඉවසන බව ඇති පිළිවෙත ය, ඉන්‍ද්‍රිය දමන සංඛ්‍යාත පිළිවෙතය, අකුශල විතරක් සංසිඳුවීම නැමැති පිළිවෙතයි.
ධර්‍මපද (දහම් කොටස්) සතරෙක: අනභිධ්‍යා නම් වූ දහම් කොටස ය, අව්‍යාපාද නම් වූ දහම් කොටස ය, සම්‍යක්ස්මෘති නම් වූ දහම් කොටස ය, සම්‍යක් සමාධි නම් වූ දහම් කොටස යි.
ධර්‍මසමාදාන සතරෙක: ඇවැත්නි, වත්මන්හි දුක් සහිත වූ ද මත්තෙහි දු දුක් විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි දුක් ඇති මත්තෙහි සැප විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වර්‍තමානයෙහි සුව ඇති, මත්තෙහි දුක් ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි සුව ඇති මත්තෙහි දු සුව ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇති.
ධර්‍මස්කන්‍ධ සතරෙක: ශීලගුණස (ඵලශීලය), සමාධිගුණය (ඵලසමාධිය), ප්‍රඥාගුණය (ඵලප්‍රඥාව), විමුක්තිගුණය (ඵලවිමුක්තියි).
බල සතරෙක: වීර්‍ය්‍ය බලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබලයි.
අධිෂ්ඨාන (ගුණාධික පුරුෂයන් සිටුනා තැන්) සතරෙක: ප්‍රඥාධිෂ්ඨානය (රහත්පල නුවණ), සත්‍යාධිෂ්ඨානය (සත්‍ය වචනය), ත්‍යාගාධිෂ්ඨානය (ආමිෂ පරිත්‍යාගය), උපශමාධිෂ්ඨානයි (කෙලෙස් සංසිඳුවීම).
ප්‍රශ්නව්‍යාකරණ සතරෙක: ඒකාන්තයෙන් විසැඳියැ යුතු ප්‍රශ්නය, පිළිවිසැ විසැඳියැ යුතු ප්‍රශ්නය, බෙදා විසැඳියැ යුතු ප්‍රශ්නය, (නොවිසඳා) තබාලියැ යුතු ප්‍රශ්නයි.