සාසඞ්ක ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” සාසඞ්ක ශික්‍ෂාපදයයි එහි “වුත්‍ථවස්සා ආරඤ්ඤකෙසු” යනු ඒ භික්‍ෂූහු පෙරද අරණ්‍යයෙහිම වාසය කළහ. දුබල සිවුරු ඇති බැවින් ප්‍රත්‍යය වශයෙන් ග්‍රාමාන්තසෙනාසනයෙහි වස් වැස නිමවනලද සිවුරු ඇතිව දැන් පළිබොධ විරහිතව මහණදම් කරන්නෙමු’යි අරණ්‍යසෙනාසනයන්හි වාසය කරත්. “කත්තිකචොරකා” ඉල්මස හැසිරෙන සොරු. “පරිපාතෙන්ති” උවදුරු කෙරෙත්. ඒ ඒ තැන දුවපැන බිය ගන්වත්. පලවා හරිත්. “අන්තරඝරෙ නික්‍ඛිපිතුං” තුන් සිවුරෙන් එක් සිවුරක් ඇතුළුගම්හි තබන්නට භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් ප්‍රත්‍යයෝ නම් දැහැමෙන් සෙමෙන් දුර්‍ලභ වෙත්ද, සැහැල්ලු පැවැතුම් ඇති මහණ තෙමේ මවද විනවන්නට අපොහොසත් වේද, එහෙයින් චීවරගොපනය පිණිස ගොදුරුගමෙහි තබන්නට අනුදැන වදාළ සේක. භික්‍ෂූන්ට සුදුසු බැවින් අරණ්‍යවාසය ප්‍රතික්‍ෂෙප නොකළහ.
“උපවස්සං ඛො පන” යන මෙහි ‘උපවස්සං’ යනු පෙරවස් වැස. පෙරවස් වැසයයි කියන ලද්දේ වේ. ‘උපසම්පජ්ජ’ යනාදියෙහි මෙන්ම මෙහි අනුනාසිකය දතයුතුය. වස් එළැඹ, නොකඩ කොට වැස’යිද අර්‍ත්‍ථයි. ‘තථාරූපෙසු භික්‍ඛු සෙනාසනෙසු විහරත්තෙ’ යන මේ හා මේ පදයාගේ සම්බන්‍ධය වේ. කුමක් කියන ලද්දේ ද, යත්:- වස් එළැඹැද, නොකඩව වැසද, එයින් මත්තෙහි ඉල්මස පුරපසළොස්වක කෙළවර කොට ඇති කාලය ‘සැකසහිතයයි සම්මත කරන ලද ප්‍රතිභය සහිතවූ යම් ආරණ්‍යක සෙනාසනයෝ වෙත්ද, මහණ තෙමේ එබඳු සෙනසුන්හි වාසය කරන්නේ කැමැති වනුයේ තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ගොදුරු ගමෙහි තබන්නේය’යි (මෙපමණකින් පෙරවස් එළැඹැ නොකඩ කොට වැසූ වස් ඇති ආරණ්‍යක සෙනසුන්හි වසන්නහු විසින් සියලු කාර්තික මාසය මුළුල්ලෙහි තුන් සිවුරෙන් වෙන්ව වසන්නට අනුදන්නා ලද්දේවේය’යි සේයි) යම්හෙයකින් යම් මහණෙක් තෙමේ පෙරවස් එළැඹ වප්මස පුරපසළොස්වක දක්වා වෙසේද, ඒ මහණ තෙමේ පෙර විසූවන්ට ඇතුළත් වේද, එහෙයින් මේ අධිකග්‍රහණය පෙරවස් එළැඹ නොකඩ කොට වැස, යනාදි ව්‍යඤ්ජන විචාරණය නොකොට පදභාජනයෙහි හුදෙක් සිවුර තැබීමට සුදුසුවූ පුද්ගලයා දක්වනු පිණිස ‘වුත්‍ථවස්සානං’ යනු වදාරන ලදි. ‘වුත්‍ථවස්සානං’ යන ඒ විභඞ්ග පදයද “භික්‍ඛු සෙනාසනෙසු විහරන්තෙ’ යන මේ හා සම්බන්‍ධ වේ. මේ මෙහි අර්‍ත්‍ථයයි:- පෙරවස් වැසූ භික්‍ෂූන් අතුරෙහි යම් කිසි භික්‍ෂු නමක් සෙනසුන්හි වසන්නේය මෙබඳු වූ භික්‍ෂූන් අතුරෙහි යම් කිසි භික්‍ෂු නමකැයි කියන ලද්දේ වේ.
අරණ්‍යලක්‍ෂණ අදින්නාදාන වර්‍ණනාවෙහි කියනලදි. මේ වනාහි විශෙෂය වේ. ඉදින් විහාරය තෙමේ යමකින් වට කරන ලද්දේ වේද, වටකළ ගමෙහි ඉන්‍ද්‍රඛීලය පටන් නොවටකළ ගමෙහි වටකිරීමට සුදුසු තැන පටන් විහාරපරික්‍ෂෙපය දක්වා මැනිය යුතුය. ඉදින් විහාරය තෙමේ නොවටකරන ලද්දේ වේද, ගමට අභිමුඛ වූ දිසාභාගයෙන් සියල්ලට ප්‍රථම වූ යම් සෙනසුනක් හෝ බත්හලක් හෝ නිතර රැස්වන තැනක් හෝ බොධියක් හෝ චෛත්‍යයක් හෝ සෙනසුනෙන් දුර නමුදු වේද, ඒ පළමු සෙනසුන් ආදිය පරිච්ඡෙද කොට මැනිය යුතුය. ඉදින් ආසන්නයෙහි ගමවේද, විහාරයෙහි සිටියවුන් විසින් ගෙවල මිනිසුන්ගේ ශබ්දය අසනු ලැබේ, පර්‍වත ගඞ්ගා ආදියෙන් අතර කළ බැවින් සෘජුව යන්නට නොහැකිවේද, මේ සෙනසුනට යෑමට යම් පියවි මගෙක් වේද, ඉදින් නැවෙන් ඒ මගින් ගමින් නැගු ඇදුරු දුන්නෙන් පන්සියයක් දුනු ගතයුතුය. යම් මහණෙක් තෙමේ අසල ගමෙහි අඞ්ගසම්පාදනය පිණිස ඒ ඒ තන්හි මග වසාද, මෙතෙමේ, ‘දුහඟසොරු’යි දතයුතුය.
“සාසඞ්කසම්මතානි” සොරුන් වසන තැන් ආදීවූ අවකාශයන් දැක සැක සහිතයයි සම්මත කරනලද මෙසේ දන්නා ලද්දාවූ, යන අර්‍ත්‍ථයි. පදභාජනයෙහි වනාහි යම් කරුණක් හේතුකොට ඒ සෙනසුන් සැකසහිතයයි සම්මත කරන ලදද, ඒ දක්වනු පිණිස “ආරාමෙ ආරාමූපචාරෙ” යනාදිය වදාළ සේක.
ප්‍රතිභය සහිත වූවාහු “සප්පටිභයානි” නම්. ලංව තුබු ව්‍යාලභය ඇත්තාවූ යන අර්‍ත්‍ථයි. එහෙයින් පදභාජනයෙහි යම් කරුණක් හේතුකොට සෙනාසනයෝ ප්‍රතිභය සහිත වූවාහුද, ඒ දක්වනු පිණිස ‘ආරාමෙ ආරාමූපචාරෙ’ යනාදිය වදාරනලදී.