චීවරඅච්ඡින්දන ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි චීවර අච්ඡින්දන ශික්ෂාපදයයි. එහි “යම්පි ත්යාහං”යි ‘මම තට යම් කරුණක් නිසා සිවුරක් දුන්නෙම්ද, ඒ ආයුෂ්මත් උපනන්ද ශාක්ය පුත්ර තෙමේ වනාහි ‘මාගේ පාසිවුරු වහන් පසුතුරුණු උසුලමින් මා සමග චාරිකාවට යන්නේය’යි දුන්නේය. එහෙයින්ම ‘මයා සද්ධිං ජනපද චාරිකං පක්කමිස්සති’යි කීයේය. “අච්ඡින්දි” බලාත්කාරයෙන් ගත්තේය. තමාගේය යන හැඟීමෙන් ගත් බැවින් මේ උපනන්ද භික්ෂුහට පරිජියෙක් නැත්තේය. වෙහෙස කොට ගත් බැවින් ඇවැත් පනවන ලදි.
“සයං අච්ඡින්දති නිස්සග්ගියං පාචිත්තියං” යනු එක් සිවුරක්ද එකට බැඳි බොහෝ සිවුරුද අසිඳ ගන්නා මහණහුට එක් ඇවැතක් වේ. එකට නොබැඳුනු වෙන්වෙන්ව තුබූ බොහෝ සිවුරු අසිඳ ගන්නා මහණහුට ‘සඞ්ඝාටිය ගෙණ එව, උත්තරාසඞ්ගය ගෙණ එව’යි මෙසේ ගෙන්වන මහණහුටද වස්තු ගණනින් ඇවැත්හු වෙත්. ‘මා විසින් දුන් සියල්ල ගෙණ එව’යි කියන්නහුටද එක් වචනයකින්ම බොහෝ ඇවැත්හු වෙත්.
“අඤ්ඤං ආණපෙති ආපත්ති දුක්කටස්ස”යි සිවුර ගණුව’යි අණවාද, එක් දුක්කටයෙක් වේ. අණවන ලදුයේ බොහෝ සිවුරු ගණීද, එක් පාචිත්තියක් වේ. ‘සඞ්ඝාටිය ගණුව, උත්තරාසඞ්ගය ගණුව’යි කියන්නහුට වචනයක් වචනයක් පාසා දුක්කට වේ. ‘මා විසින් දෙන ලද සියලු සිවුරු ගණුව’යි කියන්නහුට එක් වචනයෙන් බොහෝ ඇවැත්හු වෙත්
“අඤ්ඤං පරික්ඛාරං” විකප්පනයට පොහොනා පශ්චිමචීවරය තබා යම් කිසිවකි. යටත් පිරිසෙයින් හිද්දක්ද වේ. වෙළා තැබූ හිදින්හි වස්තු ගණනින් දුක්කටයෝ වෙත්. ලිහිල් කොට වෙළු හිදීන්හි මෙසේය. දැඩිකොට බඳින ලද්දවුන් කෙරෙහි වනාහි එක්ම දුක්කටයෙක් වේය’යි මහාපච්චරියෙහි කියන ලදී. හිදිතුලාවෙහි බහන ලද්දවුන් කෙරෙහිද මෙම නයවේ. පසුම්බියෙක ලා ලිහිල් කොට බැදි තද කොට බැද තිකුළු ආදීවූ බෙහෙත් හිද මෙම නයවේ.
“සො වා දෙති”යි ‘ස්වාමීනි’ නුඹ වහන්සේටම මෙය සරුප්යයි මෙසේ හෝ දේය. නොහොත් ඇවැත්නි අපි, තට වත් පිළිවෙත් කරන්නේය, අපගේ සමීපයෙහි උපාද්ධ්යායග්රහණය කරන්නේය, ධර්මය ප්රගුණ කරන්නේය’යි සිවුරක් දුනිමු. දැන් ඒ තෝ වත් නොකෙරෙහි, උපාද්ධ්යායග්රහණය නොකෙරෙහි, ධර්මය ප්රගුණ නොකෙරෙහි’යි මේ ආදිය කියන ලදුයේ ‘ස්වාමීනි’ සිවුර පිණිස කියයි හඟිමි, ඔබවහන්සේගේ මේ සිවුරයයි තුටුවූයේ හෝ කිපියේ හෝ දේද, මෙසේද හෙතෙමේ හෝ දෙයි. දිග්ගිය ලදරු ඒ මහණක්හට නවතිවු කියාද, හෙතෙමේ නොනවතීද, ‘සිවුර අල්ලා වළකාලවු’යි කියාද, ඉදින් මෙසේ නවතීනම් මැනැවි. ඉදින් ඔබවහන්සේ පාසිවුරු පිණිස කියහුයි හඟිමි, ‘ගණිවු’යි ඒ සිවුර දේද, මෙසේද හෙතෙමේ හෝ දෙයි. ගිහිවූවකු හෝ දැක ‘අපි තට වත් කරන්නේය’යි පාසිවුරු දුනිමු, දැන් ඒ තෝ සිවුරු හැර ගිහිව හැසිරෙහි කියාද, අන්යයා ‘ඔබවහන්සේගේ පාසිවුරු ගණිවු’යි දේද, මෙසේද හෙතෙමේ හෝ දෙයි. ‘මා වෙත උපාද්ධ්යායග්රහණය කරන්නාවූම තට දෙමි, අන් තැනක උපාද්ධ්යාය ග්රහණය කරන්නක්හට නොදෙමි, වත් කරන්නක්හට දෙමි, නොකරන්නක් හට නොදෙමි. ධර්මය පුහුණු කරන්නක් හටම දෙමි. පුහුණු නොකරන්නක් හට නොදෙමි. සිවුරු නොහරින්නක්හටම දෙමි. සිවුරු හරින්නක්හට නොදෙමි’යි මෙසේ දීම නොවටියි. දෙන්නහුට දුක්කටය වේ. ගෙන්වීම නොවටියි. බලාපොරොත්තු හැර ඔහුට දුන් පිරිකරක් පැහැර ගන්නේ බඩුව අගය කිරීමෙන් කරවිය යුත්තේය. මෙහි සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. කායචිත්තයෙන්ද වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද උපදී. ක්රියාවෙන් සමුත්ථානය වේ. සංඥාවිමොක්ෂය සචිත්තකය. ලොකවද්යය කායකර්මය. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
චීවරඅච්ඡින්දන ශික්ෂාපද වර්ණනාව නිමි.
සුත්තවිඤ්ඤත්ති ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” සුත්තවිඤ්ඤත්ති ශික්ෂාපදයයි. එහි “ඛොමං” යනු එනම් ගස් වැහැරියෙන් කළහුය. “කප්පාසිකං” කපුවෙන් නිපන්හුය. “කොසියං” කිහිරිහුයෙන් කැට කරන ලදහුය. “කම්බලං” එළුලොමින් කළහුය. “සාණං” හණ වැහැරියෙන් කළහුය. “භඞ්ගං” වෙන් වෙන්ව වැහැරියෙන් කළහුයයි ඇතැම්හු කියත්. මේ පස මිශ්ර කොට කළහු, සඞ්ගයි දත යුතුය.
“වායාපෙති පයොගෙ පයෙගෙ දුක්කටං” රෙදිවියන්නහුට හොත්කන වෙම්දඬු ආදිය නැත්තාහුද ඒ හොත්කන වෙම්දඬු වනයෙන් ගෙණ එන්නෙමි’යි වෑයක් හෝ පොරොවක් හෝ මුවහත් තමාද එතැන් පටන් උපකරණ පිණිස හෝ සිවුර පියවනු පිණිස හෝ යමක් යමක් කෙරේද, ඒ හැමතැන්හි රෙදිවියන්නහුගේ ප්රයොගයක් ප්රයොගයක් පාසා මහණහුට දුක්කටය වේ. දිගින් වියතක් පමණද සරසි රියනක් පමණද වියූ කල්හි නිස්සග්ගිය පාචිත්තිය වේ. මහාපච්චරියෙහි වනාහි කෙළවර දක්වා වියවන මහණහුට පුවරුවක් පුවරුවක් පාසා නිස්සග්ගිය පාචිත්තිය වේයයි කියන ලදී. එද මෙම ප්රමාණය සඳහා කියන ලද්දේයයි දතයුතුය. විකපනයට පොහොනා පශ්චිමචීවරය චීවරසඞ්ඛ්යාවට යයි.