වස්සිකසාටික ශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” යනු වස්සිකසාටික ශික්ෂාපදයයි. එහි “වස්සිකසාටිකා අනුඤ්ඤතා”යි චීවරක්ඛන්ධකයෙහි විසාඛා වස්තුවෙහි අනුදන්නා ලද්දීය. “පටිගච්චෙව” පෙරම.
“මාසො සෙසො ගිම්හානං” ග්රිෂ්මමාස පිළිබඳ සිවු මාසයෙහි එක් පැසුළුමස ඉතිරිව “කත්වා” මැසීම රඳන් කිරීම කප්බිඳු තැබීම කෙළවර කොට ඇති කෘත්යයන් නිමකොට කරන්නහු විසින්ද එකක්ම කොට වැසි කාලයෙහි ‘ඉමං වස්සිකසාටිකං අධිට්ඨාමි’යි කියා ඉටිය යුතුය. දෙකක් ඉටිම නොවටියි.
“අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ” ගිම්හාන නම්වූ අතිරෙක මාසයක් ශෙෂව ඇති කල්හි
“අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ කත්වා” යන මෙහි සිට වැසි සළුව පිළිබඳ පරියෙසනක්ඛෙත්ත, කරණක්ඛෙත්ත, නිවාසනක්ඛෙත්ත, අධිට්ඨානක්ඛෙත්තයි සිවුවැදෑරුම්වූ ක්ෂෙත්රයද, කුච්ඡිසමය, පිට්ඨිසමයයි දෙවැදෑරුම්වූ සමයයද, පිට්ඨිසමයචතුක්ක, කුච්ජිසමයචතුක්කයි දෙවැදෑරුම් වූ චතුෂ්කද දතයුතුය.
එහි පොසොන් මස මුල් පසළොස්වක පොහොයෙන් පැසුළු පැළවිය දින පටන් කෘෂ්ණපක්ෂයෙහි පොහොය දක්වා මේ එක් අඩමස පරියෙසනක්ඛෙත්තයද, කරණක්ඛෙත්තයද වේ. මේ අතර වැසි සළුව නොලද්දේ නම් සොයන්නටද, ලද්දේ නම් කරන්නටද වටියි. හඳින්නටද ඉටන්නටද නොවටියි. කෘෂණ පක්ෂපෞෂථයාගේ පෑළවිය දින පටන් ඇසළමස පසළොස්වක දක්වා මේ එක් අඩ මස සෙවීම කිරීම හැඳීම යන තුනටම ක්ෂෙත්රය වේ. මේ අතර සොයන්නටද කරන්නටද හඳින්නටද වටියි. ඉටීමම නොවටියි. ඇසළ මස පසළොස්වක පොහොයෙන් පැසුළු පෑළවිය දින පටන් ඉල් මස පුරපසළොස්වක දක්වා මේ සිවු පස සෙවීම කිරීම හිඳීම ඉටීම යන සතරටම ක්ෂෙත්රය වේ. මේ අතර නොලද්දේ නම් සොයන්නටද, ලද්දේ නම් කරන්නටද හඳින්නටද ඉටන්නටද වටියි. මේ වනාහි චතුවිධ ක්ෂෙත්රයයි දතයුතුය.
ඉල්මස පසළොස්වක පොහොයෙන් පැසුළු පෑළවිය දින පටන් පොසොන් මස මුල් පසළොස්වක දක්වා මේ සත්මස පිට්ඨිසමය නම්වේ. මේ අතර ‘වැසිසළුවට කාලය’යි යනාදි නයින් සිහි ඉපදවීම කොට නොනෑ නොපැවරූ තැනින් වැසිසළුසිවුර නිපදවන මහණහුට මේ ශික්ෂාපදය කරණ කොට නිස්සග්ගිය පාචිත්තිය වේ. ‘මට වැසිසළුසිවුර දෙවු’යි යනාදි නයින් විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතකවිඤ්ඤත්ති ශික්ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. කියූලෙසින්ම සිහි ඉපදවීම කොට නෑ පැවරූ තැනින් නිපදවන මහණහුට මේ ශික්ෂාපදයෙන් නිසග්ගිය පාචිත්තිය වේ. විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතකවිඤ්ඤති ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. මෙය පරිවාරයෙහි:
“මාතරං චීවරං යාචෙ - නො ච සඞ්ඝෙ පරිණතං
තෙනස්ස හොති ආපත්ති - අනාපත්ති ච ඤාතකෙ,
පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා’ති”
තෙනස්ස හොති ආපත්ති - අනාපත්ති ච ඤාතකෙ,
පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා’ති”
‘සඞ්ඝයාට නො පිරිනමන ලද සිවුරක් නොඉල්ලන්නේය. ඉදින් මවගෙන් ඉල්ලන්නේය ඔහුට කවර ශික්ෂාපදයකින් ඇවැත් වේද නෑයන්ගෙන් ඉල්ලීමෙහිදී ඇවැත් නොවේ. මේ ප්රශ්නය දක්ෂයන් විසින් සිතිය යුතුය’යි කියනලදී.
මේ ප්රශ්නය මේ අර්ත්ථය සඳහා කියන ලද්දේය. මෙසේ පිට්ඨිසමයචතුෂ්කය දතයුතුය.
පොසොන් මස මුල්පසළොස්වක පැසුළු පෑළවිය දින පටන් ඉල් පසළොස්වක දක්වා මේ පස්මස කුච්ඡිසමය නම්වේ. මේ අතර කියූ නයින් සිහි ඉපදවීම කොට නොනෑ නොපැවරූ තැනින් වැසිසළු සිවුර නිපදවන මහණහුට වත් බිඳීම නිමිතිකොට දුක්කටය වේ. යම් මිනිස් කෙනෙක් පෙරද වැසිසළු සිවුර දෙත්ද මොවුහු වනාහි ඉදින් තමාගේ නොනෑ නොපැවරූවෝ වෙත්ද එහෙයින් වත් බිඳීමෙක් නැත්තේය. ඔවුන් සමීපයෙහි සතුප්පාදකරණය අනුදත් බැවිනි. විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතකවිඤ්ඤත්ති ශික්ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. මේ වනාහි ප්රකෘතියෙන් වැසිසළු දෙන්නවුන් අතුරෙහිද වේමය. කියූ නයින්ම සිහි ඉපදීමකොට නෑ පැවරූ තැනින් නිපදවන මහණහුට මේ ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතක විඤ්ඤත්ති ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. ‘දෙථ මෙ’ මෙය වනාහි සොයන කාලයෙහි නොනෑ නොපැවරුවක්ම සඳහා කියනලදී. කුච්ඡිසමයචතුෂ්කය මෙසේ දතයුතුය.
“නග්ගො කායං ඔවස්සාපෙති, ආපත්ති දුක්කටස්ස” යනු මෙහි දියබිඳු ගණනින් නොකොට නෑමෙහි කෙළවර වසයෙන් ප්රයොගයක් ප්රයොගයක් පාසා දුක්කටාපත්තියෙන් කරවිය යුතුය. එදවනාහි ගස්වැල් ආදි කිසිවකින් ඇවුරුම් නැති තැනෙක අහසින් වැඩුනු ජලයෙන්ම නාන මහණතෙමේය. නාන කොටු වැව් ආදියෙහි කළයෙන් වක්කරනලද ජලයෙන් හෝ නාන මහණහුට ඇවැත් නොවේ.
“වස්සං උක්කඩ්ඪියති”යි කළ කෙළවර ඇති වැසිසළුවෙන් ග්රීෂ්ම සෘතුව පිළිබඳ පශ්චිම මාසය ගෙවා නැවැත වස්සාන සෘතුවගේ ප්රථම මාසය උඩට ඇද ග්රීෂ්ම සෘතුවෙහි පශ්චිම මාසයම කෙරෙත්ද, වැසිසළුව සෝදා තැබිය යුතුය. නොඉටනලදී විකපනය නොකරන ලද්දී දෙමසක් පරිහාරය ලබයි. වස් එළැඹෙන දිනයෙහි ඉටිය යුත්තීය. ඉදින් සිහි මුළා බැවින් හෝ නොපොහොනා බැවින් හෝ නොකරන ලද්දීවේද, ඒ දෙමසද වස්සාන සෘතුව පිළිබඳ ඒ සිවු මසයදැයි සමසක් පරිහාරය ලබයි. ඉදින් ඉල් මාසයෙහි කඨිනය අතුරනු ලැබේ, අනික් සිවුමසකුදු පරිහාරය ලබයි. මෙසේ දසමසෙක් වේ. එයින් පසුද චීවර ප්රත්යාශාවක් ඇති කල්හි මූලචීවරය කොට තබන්නහුට එක් මසෙක්යි මෙසේ එකොළොස් මසක් පරිහාරය ලබයි. එක් දවසක්ය දෙදවසක්ය යනාදි වසයෙන් දසදවස දක්වා වස් එළැඹෙන දිනය නො පැමිණි කල්හි හෝ වසතුළ හෝ ලදද නිමවන ලදද කවරකලෙක, ඉටිය යුතුදැයි මේ ඉටීම අර්ත්ථකථාවන්හි නොවිචාරණ ලද්දේය. ලද දින පටන් දස දවස තුළ නිමවන ලද්දී වනාහි ඒ දසදවස තුළම ඉටිය යුත්තීය. දසදවස ඉක්මීමෙහිදී නිමවන ලද්දී එදවස්හිම ඉටිය යුත්තීය. දස දවස නොපොහොනා කල්හි චීවර කාලය නොඉක්මවිය යුත්තීය. මේ අපගේ අත්තනොමතියයි. කුමක් හෙයින යත්: ‘මහණෙනි’ තුන් සිවුර ඉටන්නට විකපනය නොකරන්නට, වැසිසළුව වර්ෂාසෘතුව පිළිබඳ සිවුමස ඉටන්නට ඉන් මත්තෙහි විකපනය කරන්නට අනුදනිමි’යි වදාරන ලද්දේ ද, එබැවිනි. එහෙයින් වස් එළැඹෙන දිනෙන් පෙර දසදවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. ‘දසදවසක් පරම කොට ඇති කාලයක් අතිරෙක චීවරය දැරිය යුත්තේය’යි ද වදාරන ලදී. එහෙයින් එක් දවස දෙදවස යනාදි වසයෙන් දස දවස දක්වා වස් එළැඹෙන දිනය නොපැමිණි කල්හි වසතුළ ලදද, නිමවන ලදද කියූ නයින්ම දස දවස තුළ හෝ එදවස හෝ ඉටිය යුත්තීය. දස දවස නොපොහොනා කල්හි චීවර කාලය නොඉක්මවිය යුත්තීය.