පත්ත ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි පත්ත ශික්‍ෂාපදයයි. එහි “පත්තවණිජ්ජං” යනු ගම් නියම්ගම්හි හැසිරෙන්නෝ පාත්‍ර වෙළඳාම හෝ කරන්නාහුය. “ආමත්තිකාපණං වා” භාජනයෝ ආමත්තිකායි කියනු ලැබෙත්. ඒ භාජනයෝ යම් කෙනකුන්හට විකිණිය යුතු භාණ්ඩ කොට ඇත්තාහුද ඔවුහු ආමත්තිකයෝය. ඒ ආමත්තිකයන්ගේ කඩපිළ ‘ආමත්තිකාපණ’ නමි. කුඹල් බඩු විකුණන වෙළඳුන්ගේ කඩපිළය යන අර්‍ත්‍ථයි.
“තයො පත්තස්ස වණ්ණා” පාත්‍රයෙහි ප්‍රමාණ තුනෙකි. “අඩ්ඪාළ්හකොදනං ගණාති” මගධ නැළියෙන් සහල් නැළි දෙකක බත් ගණියි. මගධ නැළිය නම් අඩතෙලෙස් පලමෙක් වේයයි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. ආචාර්‍ය්‍යධර්‍මපාල ස්ථවිරයන් වහන්සේ ප්‍රකෘතියෙන් සිවු මිටෙක් කුඩුබයෙක. සිවුකුඩුබයෙක් නැළියෙක. ඒ නැළියෙන් සොළොස් නැළියෙන් ද්‍රොණයෙක. ඒ ද්‍රොණය, මගධ නැළියෙන් දොළොස් නැළියක් වේය’යි කියන ලදි. එනයින් මගධ නැළියනම්, පස් කුඩුබ එක් මිටක් හා තවත් මිටකින් තෙවන කොටසද යන මෙකියූ පමණ ගණීයයි දතයුතුය. හෙළදිවයිනැ පියවිනැළිය මහත්වන්නීය. ද්‍රවිඩ නැළිය කුඩා වන්නීය. මගධ නැළිය ප්‍රමාණ යුක්තය. ඒ මගධ නැළියෙන් නැළි එකහමාරක් එක් හෙළ නැළියක් වේය’යි මහාඅත්‍ථකථාවෙහි කියනලදී. “චතුභාගං ඛාදනං” බතෙහි සිවුවන කොටස පමණ කැවිලිය. ඒ කැවිලි අතින් ගතහැකි මුද්ගසූපයාගේ වසයෙන් දතයුතුය. “තදුපියඤ්ච බ්‍යඤ්ජනං” ඒ බතට සෑහෙන පමණවූ මස් මාංස පලාපල කිළිල් ආදී බ්‍යඤ්ජනය.
එහි මේ විනිශ්චයයි: මනාකොට කෙටූ මනාකොට පිරිසිදු කළ නොකැඩුනු පරණ ඇල් සහලින් මගධ නැළි දෙකක් ගෙන ඒ සහලින් නොපැසුනු සහල් නැති නොකෙළසුනු හෙවත් බෙරිනොවූ කැටිනොවූ උලක උල නොබැඳුනු කොඳකැකුළු රැසක් වැනිවූ නොබෙරිබත පිසා ඉතිරි නොකොට පාත්‍රයෙහි බහා ඒ බතෙහි සිවුවන කොටස පමණවූ ඉතා ඝන නොවූ ඉතා තුනී නොවූ අතින් ගතහැකි වූ සියලු කුළුබඩුවෙන් මනාකොට පිළියෙල කළ මුද්ගසූපය එහි බැහිය යුතුය. ඉක්බිති පිඩකට පිඩකට සෑහෙන අවසන් පිඩ දක්වා පොහොනා මස් මාංසදිව්‍යඤ්ජන බහාලිය යුතුය. ගිතෙල් තෙල් මෝරු රසකාඩි ආදීහු ගිණීමට නොපැමිණෙන්. ඒ ගිතෙල් ආදීහු ප්‍රසන්න හෙයින් ඔදනගතිකම වෙත්. පිරිහෙලන්නට වඩන්නට නොහැකිවෙත්. මෙසේ බැහූ මේ සියල්ලම පාමුවවිටෙහි යට රෙඛාව සමව සිටීනම්, හුයකින් හෝ හිරටකින් හෝ ගසන කල්හි පාමුදුනෙහි හසුරුවන හුයෙහි හෝ හිරටෙහි යටකෙළවර පහසා නම් හෙවත් යට කෙළවරෙහි වදීනම් මේ පාත්‍රය උක්කට්ඨපත්ත නම්වේ. ඒ ඉර ඉක්මවා මුදුන් කරනලදුව සිටීද, මේ පාත්‍රය උක්කට්ඨොමක පත්ත නම්වේ. ඒ ඉරට නොපැමිණේද, ඇතුළට පැමිණියක්ම වේද, මේ පාත්‍රය උක්කට්ඨුක්කට්ඨපත්ත නම්වේ.
“නාළිකොදනං” යනු මගධ නැලියෙන් එක් සහල් නැළියක බත. “පත්‍ථොදනං” මගධ නැළියෙන් නැළිබාගයක බත. සෙස්ස කියූ නයින්ම දතයුතුය. මේ වනාහි නාමමාත්‍රයෙහි වෙනසයි. නැළියක බත් ආදි සියල්ල බහාලන ලද්දේ කියූ ලෙසින්ම යට රෙඛාව සමව සිටීනම් මේ මජ්ඣිමපත්ත නම්වේ. ඒ රෙඛාව ඉක්මවා මුදුන් කරන ලදුව සිටීනම් මේ පාත්‍රය මජ්ඣිමොමකපත්ත නම්වේ. ඒ රෙඛාවට නොපැමිණේද ඇතුළතම වූයේද, මේ පාත්‍රය මජ්ඣිමුත්තට්ඨපත්ත නම් වේ. නැළිබාගයක බත් ආදි සියල්ල බහන ලද්දේ යට රෙඛාවට සමව සිටීනම් මේ පාත්‍රය ඔමකපත්ත නම්වේ. ඉදින් ඒ රෙඛාව ඉක්ම මුදුන් කරනලදුව සිටීද, මේ පාත්‍රය ඔමකොමකපත්ත නම්වේ. ඒ රෙඛාවට නොපැමිණේද, ඇතුළත වූයේමවේද, මේ පාත්‍රය ඔමකුක්කට්ඨපත්ත නම්වේ. මෙසේ මේ පාත්‍ර නවයෙක් වේ. ඒ පාත්‍ර අතුරෙහි උක්කට්ඨුක්කට්ඨපාත්‍රය හා ඔමකොමකපාත්‍රය පාත්‍ර නොවේ. “තතො උක්කට්ඨො අපත්තො ඔමකො අපත්තො” යන මෙය මේ පාත්‍රදෙක සඳහා කියන ලදි. “උක්කට්ඨුක්කට්ඨා” මෙහි උත්කර්‍ෂයටත් වඩා උත්කර්‍ෂ බැවින් ‘තතො උක්කට්ඨො අපත්තො’යි කියනලදි. ඔමකොමකපාත්‍රයද අඩුපාත්‍රයටත් වඩා අඩු බැවින් ‘තතො ඔමකො අපත්තො’යි කියනලදි. එහෙයින් මේ පාත්‍ර නොවූවාහු භාජනපරිභොගයෙන් පරිභොග කටයුත්තාහු අධිෂ්ඨානයට නොසුදුස්සහ. විකප්පනයට නොසුදුස්සහ. අන්‍යවූ පාත්‍රස්ත අධිෂ්ඨානකොට හෝ විකප්පනය කොට හෝ පරිභොග කටයුත්තාහ. මෙසේ නොකොට ඒ පාත්‍රය දසදවසක් පරම කොට ඇති කාලය ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය’යි. සත්වැදෑරුම්වූම ඒ පාත්‍රය දස දවසක් පරමකොට ඇති කාලය ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය වේයයි දතයුතුය.