ඡබ්බස්ස ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි ෂඩ්වර්‍ෂ ශික්‍ෂාපදයයි. “ඌහදන්තිපි උම්මිභන්තිපි” යනු ඇතිරි මතුවෙහි වර්‍චස්ද මූත්‍රද කෙරෙත්යි කියන ලද්දේ වේ.
“දින්නා සඞ්ඝෙන ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො සන්‍ථතසම්මුති” යනු මෙසේ ලද සම්මුති ඇති මහණතෙමේ යම්තාක් රොගය නොසන්සිදේද, ඒතාක් යම් යම් තැනකට යේද, ඒ ඒ තන්හි ඇතිරියක් කරන්නට ලබන්නේය. ඉදින් නීරෝගීව නැවැත මුල් ව්‍යාධියෙන්ම ගිලන්වේද ඒම පරිහාරය වේ. එහි අන්‍යවූ සම්මුති කෘත්‍යයෙක් නැතැ’යි ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ ‘ඒ ව්‍යාධිය හෝ නැවත කිපේවා, අන්‍යවූ ව්‍යාධියෙක් හෝ කිපේවා, වරක් ගිලන්යි නම් ලද්දේද? ලද්දේමය. නැවැත සම්මුති කෘත්‍යයෙක් නැතැ’යි කීහ.
“ඔරෙන චෙ ඡන්නං වස්සානං” යනු ෂඩ් වර්‍ෂයක්හුගේ මෑතභාගයෙහි ඇතුළතය යන අර්‍ත්‍ථයි. පදභාජනයෙහි වනාහි සඞ්ඛ්‍යාමාත්‍රයක් දක්වනු පිණිස “ඌනකඡබ්බස්සානි”යි වදාරනලදී.
“අනාපත්ති ඡබ්බස්සාකරොති” යම්කලෙක සවස පිරුනේවේද, එකල්හි ඇතිරිය කෙරේද එහි අනාපත්තියයි දෙවන පදයෙහිද යම්කලෙක අතිරෙක ෂඩ්වර්‍ෂයෙක් වේද, එකල්හි කෙරේයයි මෙය අර්‍ත්‍ථ දතයුතුය. හෙතෙමේ ෂඩ්වසය තුළ නොකෙරේයයි දතයුතුය. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
සමුත්‍ථානාදීහු කොසිය ශික්‍ෂාපදය සමානම වෙත්.
ඡබ්බස්ස ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.
නිසීදනසන්‍ථත ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන”යි නිසීදනසන්‍ථන ශික්‍ෂාපදයයි එහි “ඉච්ඡාමහං භික්‍ඛවෙ” භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් විවෙකයට පැමිණ ඒ තෙමස මුළුල්ලෙහි කිසි අවබෝධ කළ හැකි සත්ත්‍වයකු නොදුටුසේක. එහෙයින් මෙසේ වදාළ සේක. මෙසේ ඇති කල්හිදු පාළි විසින් ධර්‍මදේශනා කටයුතු වන්නීය. යම්හෙයකින් මේ භාග්‍යවතුන් වහන්සේහට ‘මා අවකාශ කරවා චිත්තවිවෙකයෙන් යුක්ත කල්හි භික්‍ෂූහු අධාර්මික කතිකාවතක් කරන්නාහ. එය උපසෙන තෙමේ බිදින්නේය. මම ඔහුට පැහැද භික්‍ෂූන්ගේ දැකීම අනුදන්නෙමි, එයින් මා දක්නා කැමැති බොහෝ භික්‍ෂූහු ධුතාඞ්ග සමාදන් වන්නාහ. මමද ඒ භික්‍ෂූන් තැන තැන දැමු නිසීදන සන්‍ථතය කරුණු කොට ශික්‍ෂාපදය පණවන්නෙමි. මෙබඳු සිතෙක් වූයේද, එහෙයින් ‘එවං බහූනිහි එත්‍ථ ආනිසංසානි’යි මෙසේ වදාළ සේක.
“සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි” උපසෙන වඞ්ගත්තපුත්‍ර ස්ථවිර තෙමේ වනාහි ‘න භික්‍ඛවෙ ඌනදසවස්සෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස’ යන මේ ඛන්‍දක ශික්‍ෂාපදයෙහි ‘කථං හි නාම ත්‍වං මොඝපුරිස අඤ්ඤෙහි ඔවදියො අනුසාසියො අඤ්ඤං ඔවදිතුං අනුසාසිතුං මඤ්ඤිස්සසි’ යන මේ ආදි නයින් ගැරහුම් ලබා ‘ශාස්තෘන් වහන්සේ මාගේ පිරිස නිසා ගර්‍හා කළ සේක. ඒ මම දැන් ඒ කරුණෙන්ම භාග්‍යවතුන් වහන්සේ ලවා පුන්සඳ මෙන් සශ්‍රීක වූ සර්‍වාකාර පරිපූර්‍ණ වූ ශ්‍රී මුඛයෙන් බමගොස් විසුරුවවා පිරිසම නිසා සාධුකාර දෙවන්නෙමි’යි මනාසිත් ඇති කුලපුත්‍ර තෙමේ යොදුන් සියයකින් වැඩිතැන නැවතී පිරිස හික්මවාගෙන පන්සියයක් පමණ භික්‍ෂූන් විසින් පිරිවරන ලදුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙනුයේ ‘සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි’යි එහෙයින් කියන ලදී. ව්‍රතසම්පත්තිය හැර අන් අයුරකින් බුදුවරයෝ සතුටු කරන්නට නොහැක්කාහ.
“භගවතො අවිදුරෙ නිසින්නො” ව්‍රතසම්පත්තිය පිරිසිදු බැවින් කසුන්පව්වට සිංහයකු මෙන් නිසැකව භාගවතුන් වහන්සේට නොදුරු තැනෙක්හි හුන්නේය. “එතදවොච” කථාව උපදවනු පිණිස මේ වචනය වදාළ සේක. “මනාපානි තෙ භික්‍ඛු පංසුකුලානි” මහණ ‘තාගේ පංසුකූලයෝ මනාපයහ. තමාගේ රුචියෙන් කැමැත්තෙන් ගන්නා ලදහ යන අර්‍ත්‍ථයි. “න ඛො මෙ භන්තෙ මනාපානි” යනු ස්වාමීනි, ‘මා විසින් තමාගේ රුවියෙන් නොගන්නා ලදහ. ගලග්‍රාහයෙන් මෙන් මස්තකතාඞ්නයෙන් මෙන් ගන්නා ලද්දෙමියි දක්වයි.
“පඤ්ඤයිස්සති” ප්‍රකටවූයේ, වෙසෙසින් ප්‍රසිද්ධ වූයේ වන්නේය. එහි දක්නා ලැබේයයි කියන ලද්දේ වේ. “න මයං අපඤ්ඤත්තං පඤ්ඤපෙස්සාමි” ශ්‍රාවක වූ අපි නම් නොපණවන ලද්දක් නොපණවන්නෙමු. යම් මේ පාචිත්තියය දුක්කටයයි ආදි නයින් නොපණවන ලද ශික්‍ෂාපද පැණවීම, පණවනද ශික්‍ෂාපද සමූහනය යන මෙය බුද්ධවිසයම වේ. “සමාදාය” ඒ ශික්‍ෂාපදය සමාදන්ව ‘සාධු සුට්ඨු’යි පිළිගෙණ පැණවූ පරිදි සියලු ශිකෂාපදයන්හි හික්මෙන්නෙමු’යි දක්වාලන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහු විසින් සතුටු කළ සිත් ඇති සේක් නැවැතද යහපත, යහපතැයි සාධුකාර දුන් සේක.
“අනුඤ්ඤතාවුසො”යි ඇවැත අනුදන්නා ලද්දේය. “පිහෙන්තා” පතන්නාහු “සන්‍ථනාති උජ්ඣිත්‍වා” යනු ඇතිරියෙහි චතුර්‍ත්‍ථ චීවරය යන සංඥා ඇති බැවින් සියලු ආස්තරණ උදුරා “ධම්මං කථං කත්‍වා භික්‍ඛූ ආමන්තෙසි” භාග්‍යවතුන් වහන්සේ විසුරුණු ආස්තරණ දැක ශ්‍රද්ධාවෙන් දෙන ලද්දහුගේ විනිපතනයෙහි කාරණයෙක් නැත්තේය. පරිභොගුපායය ඔවුන්ට දක්වන්නෙමි’යි දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමැතූ සේක.
“සකිං නිවත්‍ථම්පි සකිං පාරුතම්පි” වරක් හුන්නකුද වරක් හොත්තකුද “සමන්තා” එක් පසකින් වටයක් හෝ සිවුරැසක් හෝ සිඳහැර ගත් තැන යම්සේ වියතක් පමණවේද, එසේ ගතයුතුය. අතුරන්නහු විසින් වනාහි පෙළෙහි කියූ නයින්ම එක් දෙසක හෝ ඇතිරිය යුතුය. අවුල් හැර හෝ මිශ්‍රකොට හෝ ඇතිරිය යුතුය. මෙසේ කල්හි ස්ථිරතර වේ. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
මේ ශික්‍ෂාපදයාගේ සමුත්‍ථානාදීහු ක්‍රියාක්‍රිය බැවින් ද්වභාග ශික්‍ෂාපදය සමානවෙත්.
(මේ පස්වැදෑරුම් ආස්තරණයන් අතුරෙහි පළමු තුන විනයකර්‍ම කොට පිළිලැබ පරිභොග කිරීම නොවටියි. පසුදෙක වටීයයි දතයුතුය.)
නිසීදනසන්‍ථත ශික්‍ෂාපදවර්‍ණනාව නිමි
එළකලෝම ශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” එළකලොම ශික්‍ෂාපදයයි. එහි “උප්පණ්ඩෙසුං” යනු ස්වාමීනි, කොපමණකින් මිලදී ගන්නා ලද්දාහුදැ’යි යනාදිය කියමින් අපහාස කළාහුය. “ඨිතකොච ආසුම්හි”යි මිනිස්සු වනයෙන් මහත් දැවබරක් ගෙණවුත් වෙහෙසට පත්වූවාහු සිටියාහුම යම්සේ හෙලත්ද, එසේ හෙලූයේය යන අර්‍ත්‍ථයි.