ප්‍රථමඋපක්ඛටශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” උපක්‍ඛට ශික්‍ෂාපදයයි. එහි “අත්‍ථාවුසො මං සො උපට්ඨාකො” ඇවැත ‘තෝ යමක් කියහිද, මාගේ මෙබඳුවූ උපස්ථායකයෙක් ඇත්තේය’යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. “අපි මය්‍ය එවං හොති” ‘හිමියෙනි’ මට මෙසේ සිතෙක් වූයේය. ‘අපි මය්හ එවං’යි කියාද පාඨය වේ.
“භික්‍ඛුං පනෙව උද්දිස්ස” මෙහි ‘උද්දස්ස” යනු උදෙසා ඇරැබැ යම්හෙයකින් යමකු උදෙසා යම් සිවුරු මිලයක් රැස්කරන ලද්දේවේද, ඒ සිවුරු මිලය ඔහුට ප්‍රයෝජනය පිණිස රැස්කරන ලද්දේ නම්වේද, එහෙයින් මේ පදයාගේ පදභාජනයෙහි ‘භික්‍ඛුස්සත්‍ථාය’යි වදාරන ලද්දේය.
“භික්‍ඛුං ආරම්මණං කරිත්‍වා” මහණකු කරුණුකොට මහණකු උදෙසා යමක් රැස් කරන ලද්දේද, ඒ සිවුරු මිලය නියමයෙන්ම මහණකු කරුණු කොට රැස්කරන ලද්දේවේද, ‘භික්‍ඛුං ආරම්මණං කරිත්‍වා’යි එහෙයින් වදාරන ලදී. ප්‍රත්‍යය තෙමේද ‘ලභති මාරො ආරම්මණං’ යනාදි තන්හි ආරම්මණැයි ආයේය. දැන් ‘උද්දිස්ස’ යන මෙහි යමෙක් කර්‍තෘවේද, ඔහුගේ ආකාරය දක්වනු පිණිස “භික්‍ඛුං අච්ඡාදෙතුකාමො” යනු වදාළ සේක. මහණහු අන්දවනු කැමැත්තාවූ ඔහු විසින් ඒ උපනන්‍ද තෙරහු උදෙසා රැස්කරන ලද්දේය. අනික් කරුණකින් නොවේයයි මෙසේ හෙතෙමේ අන්දවනු කැමැත්තේ වේ. “භික්‍ඛුං අච්ඡාදෙතුකාමො” යනු එහෙයින් වදාරන ලදය.
“අඤ්ඤාතකස්ස ගහපතිස්ස වා” නොනෑ ගැහැවියකු කරණකොටගෙන, යන අර්‍ත්‍ථයි. මෙය කරණාර්‍ත්‍ථයෙහි සාමිවචනයි. පදභාජනයෙහි ව්‍යඤ්ජනය නොවිමසා අර්‍ත්‍ථමාත්‍රයම දක්වනු පිණිස ‘අඤ්ඤාතකො ගහපති නාම’ යනාදිය වදාරන ලදී.
“චීවරචෙතාපන්නං” සිවුරුමිල. එය වනාහි යම්හෙයකින් හිරණ්‍යාදීන් අතුරෙහි එක්තරා එකක් වේද, එහෙයින් පදභාජනයෙහි ‘හිරඤ්ඤං වා’ යනාදිය වදාරන ලදී. “උපක්‍ඛටං හොති” පිළියෙල කරන ලද්දේ වේ. එකතුකොට තබන ලද්දේය. යම්හෙයකින් ‘හිරඤ්ඤං වා’ යනාදි වචනයෙන් මේ සිවුරු මිල රැස්කළබව දක්වන ලද්දේවේද, එහෙයින් ‘උපක්‍ඛටං නාම’ යන පදය උදුරා වෙන්ව පදභාජනය නොවදාළ සේක. “ඉමිනා” යනු රැස් කරන ලද්ද සඳහා කීහ. එහෙයින්ම මේ පදය පිළිබඳ පදභාජනයෙහි ‘පච්චුපට්ඨිතෙන’යි වදාරන ලදය. යමක් වනාහි රැස්කරන ලද්දේද එකතු කොට තබන ලද්දේද, එය එළවා තබන ලද්දේ වේ. “අච්ඡාදෙස්සාමි” යන මෙය ව්‍යවහාර වචන මාත්‍රයෙකි. ‘මෙනම් ඇති මහණහුට දෙන්නෙමි, යන මෙහි මේ අර්‍ත්‍ථය වේ. එහෙයින්ම මේ පදයාගේ පදභාජනයෙහිද ‘දස්සාමි’යි වදාරන ලදය.
“තත්‍ර චෙසො භික්‍ඛු” යම් තැනෙක්හි ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපතිනී තොමෝ හෝ වේද, එහි ඒ මහණතෙමේ පෙර නොපවරන ලද්දේ එළැඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ නම්යි. මෙහි මේ පදසම්බන්‍ධය වේ. එහි “උපසඞ්කමිත්‍වා” යන මෙයට ‘ගනත්‍වා’ යන මෙයින්ම අර්‍ත්‍ථය සිද්ධ කල්හි බහුල ව්‍යවහාර වශයෙන් ගෘහයි කියන ලද්දේය. යම්තැනක ඒ දායක තෙමේ වේද එහි ගොස්යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. එහෙයින් නැවැතද ‘යත්‍ථ කත්‍ථිචි උපසඞ්කමිත්‍වා’යි කියන ලද්දේය. “ආපජ්ජෙය්‍ය” විසිට්ඨකප්පං යූසේයි. අධික විධානයට පැමිණෙන්නේය. පදභාජනයෙහි වනාහි යම් අයුරකින් අධික විධානය පැමිණියේ වේද, එම දක්වනු පිණිස ‘ආයතං වා’ යනාදිය වදාරන ලදි. “සාධු” යනු අභිමුඛයාඥාවෙහි නිපාතයෙකි. “වතං” යනු පරිවිතර්‍කයෙහි නිපාතයෙකි: “මං”යි තමන් දක්වයි. “ආයස්මා”යි අභිමුඛ කෙරෙයි. ආමන්ත්‍රණය කෙරෙයි. යම්හෙයකින් මේ සියල්ල ව්‍යඤ්ජනමාත්‍රයෙක්ම වූයේ ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේම වේද එහෙයින් මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහි අර්‍ත්‍ථය තෙමේ නොකියන ලද්දේය. “කල්‍යාණකමතං උපාදාය” යනු යහපතක් කැමැතිබව විශිෂ්ටයක් කැමැතිබව සිතින් ගෙණය. එයට පැමිණෙන්නේ නම්යි යන මේ හා සම්බන්‍ධ වේ. යම්හෙයකින් යමෙක් යහපතක් කැමැතිබව කරණුකොට පැමිණේද හෙතෙමේ සොඳුරු බව කැමැතියෙක් වේ. මාහැඟි බව කැමැත්තේ වේ. එහෙයින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි ව්‍යඤ්ජනය හැරදමා අභිමතාර්‍ත්‍ථයම දක්වනු පිණිස එම වචනය වදාරන ලද්දේය. යම්හෙයකින් වනාහි මෙයට පැමිණීම් මාත්‍රයකින්ම ආපත්ති තොමෝ කෙළවරට නොපැමිණේද, එහෙයින් “තස්ස වචනෙන” යනාදිය වදාළ සේක.
“අනාපත්ති ඤාතකානං” යනාදි තන්හි “ඤාතකානං” නෑයන්ගේ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නහුට අනාපත්තියි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. “මහග්ඝං චෙතාපෙතුකාමස්ස අප්පග්ඝං චෙතාපෙති” යනු විස්සක් අගනා සිවුරක් මිලකරනු කැමැති ගැහැවියට ‘මට මෙයින් කම් නැත්තේයි, දසයක් අගනා වූ හෝ අටක් අගනා වූ හෝ සිවුරක් දෙව’යි කියාද, ඇවැත් නොවේ. “අප්පග්ඝං” යන මෙද අධිකය වැළකීම පිණිසම වදාරන ලද්දේය. සමවූ විධානය නිමිතිකොටද ඇවැත් නොවේ. හෙද ඇගීම් වසයෙනි. පමණ විසින්ම නොවේ. මේ ශික්‍ෂාපදය අගය වැඩීම පමණකොට ඇත්තේමය. එහෙයින් යමෙක් විස්සක් අගනා අඳනයක් මිලදී ගනු කැමැත්තේ වේද, ඔහුට මෙපමණක් අගනා සිවුරක් මට දෙව’යි කියනු වටියි. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
සමුත්‍ථානාදීහු ද තතුත්තරිශික්‍ෂාපදය සමානම වෙත්.
ප්‍රථම උපක්‍ඛටශික්‍ෂාපද වර්‍ණනාව නිමි.
ද්විතීයඋපක්ඛටශික්‍ෂාපද වර්ණනාව
දුතිය උපක්‍ඛට ශික්‍ෂාපදයෙහිද මේ නයින්ම අර්‍ත්‍ථය දතයුතුය. ඒ වනාහි මේ ශික්‍ෂාපදයෙහි අනුප්‍රඥප්තිය සමානවේ. හුදෙක් ප්‍රථම ශික්‍ෂාපදයෙහි එකක්හට පීඩා කරන ලදී. ද්විතීය ශික්‍ෂාපදයෙහි දෙදෙනකුට පීඩා කරන ලදි. මෙපමණෙක්ම මෙහි වෙනස වේ. සියල්ල ප්‍රථම ශික්‍ෂාපදය සමානම වේ. දෙදෙනකුට යම්සේද, බොහෝ දෙනාට පීඩාකොට ගන්නහුටද ඇවැත් දතයුතුය.