ද්විතීයඋපක්ඛටශික්‍ෂාපද වර්ණනාව
දුතිය උපක්‍ඛට ශික්‍ෂාපදයෙහිද මේ නයින්ම අර්‍ත්‍ථය දතයුතුය. ඒ වනාහි මේ ශික්‍ෂාපදයෙහි අනුප්‍රඥප්තිය සමානවේ. හුදෙක් ප්‍රථම ශික්‍ෂාපදයෙහි එකක්හට පීඩා කරන ලදී. ද්විතීය ශික්‍ෂාපදයෙහි දෙදෙනකුට පීඩා කරන ලදි. මෙපමණෙක්ම මෙහි වෙනස වේ. සියල්ල ප්‍රථම ශික්‍ෂාපදය සමානම වේ. දෙදෙනකුට යම්සේද, බොහෝ දෙනාට පීඩාකොට ගන්නහුටද ඇවැත් දතයුතුය.
ද්විතීය උපක්‍ඛටශික්‍ෂාපද වර්‍ණනාව නිමි.
රාජශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන්ති” යනු රාජශික්‍ෂාපදයයි. එහි “උපාසකං සඤ්ඤාපෙත්‍වා” දන්වා. මේ මිලයෙන් සිවුරක් මිලදීගෙන තෙරහුට දෙව’යි මෙසේ කියා යන අදහසය. “පඤ්ඤාසබන්‍ධො” පණසක් කහවණු දඩැයි කියන ලද්දේ වේ. ‘පඤ්ඤාසං බන්‍ධො’යි ද පාඨය වේ. පණසක් දිනුයේ වේ. පණසක් දෙවිය යුත්තේය යන අදහසයි. “අජ්ජණ්හො භන්තෙ ආගමෙහි” ස්වාමීනි එක් දවසක් සිටිනු මැනැවි, අපට ඉවසනු මැනැව, යන අර්‍ත්‍ථයි. “පරාමසී” ගත්තේය. “ජීතොසි” දිනන ලද්දේ වෙහිය.
“රාජභොග්ගො” රජුගෙන් භොග්ගං යූයේයි බිදිය යුත්ත මොහුට ඇත්තේනුයි රාජභොග්ගනම. ‘රාජභොගො’යි පාඨයෙක් ද වේ. රජුගෙන් බිදිය යුත්ත මොහුට ඇත්තේය යන අර්‍ත්‍ථයි.
“පහිණෙය්‍ය” යවන්නේය. ප්‍රකට අර්‍ත්‍ථ ඇති බැවින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනය නොවදාරනලදි. මේ පදය පිළිබඳ යම්සේද එසේ “චීවරං ඉත්‍ථන්නාම භික්‍ඛුං” යනාදි පදයන්ද ප්‍රකට අර්‍ත්‍ථ ඇති බැවින් පදභාජනය නොවදාරන ලදැයි දතයුතුය. “ආභතන්ති” ගෙන එන ලද්දේය. “කාලෙන කප්පියං” සුදුසු කාලයෙහි. ‘යම්කලෙක්හි අපට ප්‍රයෝජන ඇත්තේ වේද, එකල්හි කැප සිවුරක් ගණුම්හ’ යන අර්‍ත්‍ථයි.
“වෙය්‍යාවච්චකරො” කෘත්‍යය කරන්නෙක්. කැපකරුය යන අර්‍ත්‍ථයි. “සඤ්ඤත්තො සො මයා” මා විසින් ඔහු යම්සේ තොපට සිවුරකින් ප්‍රයෝජන ඇති කල්හි සිවුරක් දෙන්නේද එසේ කියන ලද්දේය යන අර්‍ත්‍ථයි. “අත්‍ථො මෙ ආවුසො චීවරෙන” මෙය චොදනාවගේ ලක්‍ෂණ දැක්වීමය. මේ වචනය හෝ වනාහි කියයුතුය. නොහොත් මොහුගේ අර්‍ත්‍ථය යම්කිසි භාෂාවකින් කියයුතුය. මේ චොදනා ලක්‍ෂණය වේ. ‘දෙහි මෙ චීවරං’ යනාදීහු නොකියයුතු අයුරු දැක්වීම පිණිස කියන ලදහ. මේ වචනද මොවුන්ගේ අර්‍ත්‍ථයද යම්කිසි භාෂාවකින් නොකිය යුතුය.
“දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො” ‘අත්‍ථො මේ ආවුසො වීවරෙන’ යන මෙම තුන්යලක් කියයුතුය. මෙසේ “ද්වත්තික්‍ඛත්තුං චොදෙතබ්බො සාරෙතබ්බො” මෙහි උදෙසූ ශික්‍ෂාපදයෙහි පිරිසිඳීම දක්වා දැන් ‘ද්වත්තික්‍ඛත්තුං චොදයමානො චරයමානො තං චීවරං අභිනිප්ඵාදෙය්‍ය ඉච්චෙතං කුසලං’ යන මේ පදයන්ගේ අර්‍ත්‍ථය සැකෙවින් දක්වනුවෝ “සචෙ අභිනිප්ඵාදෙති ඉච්චෙතං කුසලං”යි කීහ. මෙසේ තුන්යල දක්වා චොදනා කරන්නේ ඒ සිවුර ඉදින් නිපදවාද, තමන්ට ප්‍රතිලාභ වශයෙන් නිපදවන්නට හැකිද, මේ අයුරින් මේ නිපදවීම මැනැවි. යහපති. සුට්ඨුසුන්‍දරං යනුද මෙයට පර්‍ය්‍යයය.
“චතුක්‍ඛත්තුං පඤ්චක්‍ඛත්තුං ඡක්‍ඛත්තුපරමං තුණ්හිභුතෙන උද්දිස්ස ඨාතබ්බං” යනු මේ සිටීම් ලකුණු දැක්වීමය. ‘ඡක්‍ඛත්තුපරමං’ යන මෙය භාවනපුංසකවචනයි. සවරක් පරමකොට සිවුර උදෙසා මොහු විසින් තුෂ්ණිම්භූතව සිටිය යුතුය. අන්කිසිවක් නොකට යුතුය. මේ සිටීමේ ලක්‍ෂණයයි. එහි සියලු සිටීම්වලට සාධාරණවූ යම් තුෂ්ණීම්භාවයක් වේද, ඒ නොබිණීම දක්වනු පිණිස පදභාජනයෙහි “තත්‍ථ ගනත්‍වා තුණ්නීභූතෙන” යනාදිය වදාළ සේක. එහි “න ආසනෙ නිසිදිතබ්බං” ස්වාමීනි, මෙහි හිඳුනු මැනැවැ’යි කියන ලද්දහු විසින්ද, නොහිඳිය යුතුය. “න ආමිසං පටිග්ගහෙතබ්බං” කැඳ කැවිලි ආදි භෙද ඇති කිසි ආමිෂයක් ගණුව ස්වාමීනි’යි යදිනු ලබන්නහු විසින්ද නොගත යුතුය. “න ධම්මො භාසිතබ්බො” මඞ්ගලයක් හෝ අනුමොදනාවක් හෝ වදාරනු මැනැවැයි යදිනු ලබන්නහු විසින්ද කිසිවක් නොබිණිය යුතුය. හුදෙක් ‘කවර කරුණක් හේතුකොට ආයෙහිදැ’යි විචාරනු ලබන්නහු විසින් ‘ඇවැත දනිහි’ කියයුතුය. ‘පුච්ඡියමානො’ යන මෙය කරණාර්‍ත්‍ථයෙහි ප්‍රථමාවචනයි. නොහොත් විචාරීම කරනුයේ විචාරනු බලන්නේයයි මෙසේද මෙහි අර්‍ත්‍ථ දතයුතුය. යමෙක් විචාරීම කෙරේද, හෙතෙමේ මෙපමණක් කියයුත්තේය. ‘ඨානං භඤ්ජති’ ආ කරුණ විනාශ කරයි.