තතුත්තරිශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” තතුත්තරි ශික්ෂාපදයයි. එහි “අභිභට්ඨුං” අභි යනු උපසර්ගයි. හැරගැනීමට යන අර්ත්ථයි. ගන්නටැයි කියන ලද්දේ වේ. “පවාරෙය්ය” යනු කැමැති කරවන්නේය. ඊප්සාව රුචිය උපදවන්නේය. කියන්නේය. නිමන්ත්රණය කරන්නේය, යන අර්ත්ථයි. එළවා පවරන්නහු විසින් යම්සේ කියයුතුද, ඒ ආකාරය දක්වනු පිණිස “යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහි”යි මෙසේ මේ පදභාජනය තෙමේ වදාරන ලද්දේය. නොහොත් ‘යථා නෙක්ඛම්මං දට්ඨුං ඛෙමතො’ යන මෙහි දැක යන අර්ත්ථය වේද, එසේ මෙහිදු ‘අභිහට්ඨුං පවාරෙය්ය’ එළවා පවරන්නේය යන අර්ත්ථය වේ. එහි කයින් එළවීමය. වචනයෙන් එළවීමයයි එළවීම දෙවැදෑරුම් වේ. කයින් හෝ වස්ත්ර එළවා පාමුල්හි තබා ‘යම්පමණ කැමැත්තෙහිද, එපමණ ගණුවයි කියමින් පවරන්නේය. වචනයෙන් හෝ අපගේ වස්ත්ර කොෂ්ඨාගාරය පිරීසිටියේය. යම්පමණ කැමැත්තෙහිද, එපමණ ගණුව’යි කියමින් පවරන්නේය. එදෙකම එක් කොට ‘අභිහට්ඨුං පවාරෙය්ය’යි වදාරන ලදය.
“සන්තරුත්තරපරමං” අඳනය සහිතවූ උතුරුසඟ සිවුර පරමවූයේ ඉවසිය යුතු මේ සිවුරමැයි සන්තරුත්තරපරම නම. අඳනය සමග පොරෝනය උත්කර්ෂ පරිච්ඡෙදයක් වූයේ මේ සිවුරමැයි කියන ලද්දේ වේ. “තතො චීවරං සාදිතබ්බං” එළවූ සිවුරෙන් මෙපමණ සිවුරක් ගතයුතුය. මෙයින් වැඩියක් නොගත යුතුය යන අර්ත්ථයි. යම්හෙයකින් අසිඳගත් සියලු සිවුරු ඇති තෙචීවරිකවූම භික්ෂූහු විසින් මෙසේ පිළිපැදිය යුතුය. තුන්සිවුරු අතුරෙන් එකක් හෝ දෙකක් අසිඳගත් සිවුරු ඇති අන්යයා විසින් ‘සන්තරුත්තරපරමං’ යනාදි වසයෙන් කියන ලද විධියෙන් අන් අයුරකින්ද පිළිපැදිය යුතුය. එහෙයින් ඒ විභාගය දක්වනු පිණිස “සචෙ තීනි නට්ඨානි හොන්ති” යනාදිනයින් මේ ශික්ෂාපදයෙහි පදභාජනය වදාරන ලද්දේය.
එහි මේ විනිශ්චයයි: යම් මහණක්හුගේ තුන් සිවුරු නැසුනාහුද, ඔහු විසින් දෙකක් ඉවසිය යුතුය. එකක් හැඳ එකක් පොරොවා අනික සභාගස්ථානයකින් සොයන්නේය. යම් මහණක්හුගේ දෙකත් සිවුරු නැසුනාහුද, ඔහු විසින් එකක් ඉවසිය යුතුය. ඉදින් ස්වභාවයෙන්ම අඳනය හා උතුරුසඟ සිවුරෙන් හැසිරේද, දෙකක් ඉවසිය යුතුය. මෙසේ ඇති කල්හි තුන් සිවුරෙන් දෙකක් නැසුනු කල්හි එකක් ඉවසන්නහු හාම සම වන්නේය. යමක්හුගේ තුන්සිවුරෙන් එකක් නැසුනේද, එකකුත් නොඉවසිය යුතුය. යම් මහණක්හට එක්ම සිවුරක්වේද, එද නැසුනේද දෙකක් ඉවසිය යුතුය. මෙහෙණක විසින් වනාහි සිවුරු පසම නැසුනු කල්හි දෙකක් ඉවසිය යුතුය. සතරක් ඇසුනු කල්හි එකක් ඉවසිය යුතුය. තුනක් නැසුන් කල්හි කිසිවක් නොඉවසිය යුතුය. දෙකක් හෝ එකක් නැසුනු කල්හි කියනු කවරේද, යම් කිසිවකු විසින් හඳනය හා පොරෝනය පරම කොට ඇති බැවින් සිටිය යුතුය. එයින් මතුවෙහි නොලැබේය යනු මෙහි මේ ලක්ෂණය වේ.
“සෙසකං ආහරිස්සාමි” සිවුරු දෙකක් කොට සෙස්ස නැවැත ගෙන එන්නෙමි යන අර්ත්ථයි. “න අච්ඡින්නකාරණා” අසිඳගැණීම කරුණු කොට නොවේය යනු බහුශ්රැතතත්වාදි ගුණ වශයෙන් දෙත්. “ඤාතකානං” යනාදිතන්හි නෑයන් දෙනකල්හි ඉවසන්නහුටද පැවරුවන් දෙන කල්හි ඉවසන්නහුටද, තමාගේ ධනයෙන් ඉවසන්නහුටද අනාපත්තිය යනු අර්ත්ථයි. අර්ත්ථකථාවන්හි වනාහි නෑ පැවැරූ තන්හි ස්වභාවයෙන්ම බොහෝද වටියි, අසිඳ ගැනීම කරුණුකොට පමණම වටීයයි කියන ලදී. එය පෙළ හා සම නොවේ. යම්හෙයකින් මේ ශික්ෂාපදය අනිකක්හු පිණිස විඤ්ඤාපන වස්තුවෙහිම පණවන ලද්දේද එහෙයින් මෙහි ‘අඤ්ඤස්ස අත්ථාය’යි නොකියන ලදී. සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය.
සමුත්ථානාදීන් අතුරෙහි මේ ශික්ෂාපදය ෂඩ්සමුත්ථානිකය ක්රියායි. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
තතුත්තරි ශික්ෂාපද වර්ණනාව නිමි.
ප්රථමඋපක්ඛටශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” උපක්ඛට ශික්ෂාපදයයි. එහි “අත්ථාවුසො මං සො උපට්ඨාකො” ඇවැත ‘තෝ යමක් කියහිද, මාගේ මෙබඳුවූ උපස්ථායකයෙක් ඇත්තේය’යි මෙහි මේ අර්ත්ථය වේ. “අපි මය්ය එවං හොති” ‘හිමියෙනි’ මට මෙසේ සිතෙක් වූයේය. ‘අපි මය්හ එවං’යි කියාද පාඨය වේ.
“භික්ඛුං පනෙව උද්දිස්ස” මෙහි ‘උද්දස්ස” යනු උදෙසා ඇරැබැ යම්හෙයකින් යමකු උදෙසා යම් සිවුරු මිලයක් රැස්කරන ලද්දේවේද, ඒ සිවුරු මිලය ඔහුට ප්රයෝජනය පිණිස රැස්කරන ලද්දේ නම්වේද, එහෙයින් මේ පදයාගේ පදභාජනයෙහි ‘භික්ඛුස්සත්ථාය’යි වදාරන ලද්දේය.
“භික්ඛුං ආරම්මණං කරිත්වා” මහණකු කරුණුකොට මහණකු උදෙසා යමක් රැස් කරන ලද්දේද, ඒ සිවුරු මිලය නියමයෙන්ම මහණකු කරුණු කොට රැස්කරන ලද්දේවේද, ‘භික්ඛුං ආරම්මණං කරිත්වා’යි එහෙයින් වදාරන ලදී. ප්රත්යය තෙමේද ‘ලභති මාරො ආරම්මණං’ යනාදි තන්හි ආරම්මණැයි ආයේය. දැන් ‘උද්දිස්ස’ යන මෙහි යමෙක් කර්තෘවේද, ඔහුගේ ආකාරය දක්වනු පිණිස “භික්ඛුං අච්ඡාදෙතුකාමො” යනු වදාළ සේක. මහණහු අන්දවනු කැමැත්තාවූ ඔහු විසින් ඒ උපනන්ද තෙරහු උදෙසා රැස්කරන ලද්දේය. අනික් කරුණකින් නොවේයයි මෙසේ හෙතෙමේ අන්දවනු කැමැත්තේ වේ. “භික්ඛුං අච්ඡාදෙතුකාමො” යනු එහෙයින් වදාරන ලදය.
“අඤ්ඤාතකස්ස ගහපතිස්ස වා” නොනෑ ගැහැවියකු කරණකොටගෙන, යන අර්ත්ථයි. මෙය කරණාර්ත්ථයෙහි සාමිවචනයි. පදභාජනයෙහි ව්යඤ්ජනය නොවිමසා අර්ත්ථමාත්රයම දක්වනු පිණිස ‘අඤ්ඤාතකො ගහපති නාම’ යනාදිය වදාරන ලදී.
“චීවරචෙතාපන්නං” සිවුරුමිල. එය වනාහි යම්හෙයකින් හිරණ්යාදීන් අතුරෙහි එක්තරා එකක් වේද, එහෙයින් පදභාජනයෙහි ‘හිරඤ්ඤං වා’ යනාදිය වදාරන ලදී. “උපක්ඛටං හොති” පිළියෙල කරන ලද්දේ වේ. එකතුකොට තබන ලද්දේය. යම්හෙයකින් ‘හිරඤ්ඤං වා’ යනාදි වචනයෙන් මේ සිවුරු මිල රැස්කළබව දක්වන ලද්දේවේද, එහෙයින් ‘උපක්ඛටං නාම’ යන පදය උදුරා වෙන්ව පදභාජනය නොවදාළ සේක. “ඉමිනා” යනු රැස් කරන ලද්ද සඳහා කීහ. එහෙයින්ම මේ පදය පිළිබඳ පදභාජනයෙහි ‘පච්චුපට්ඨිතෙන’යි වදාරන ලදය. යමක් වනාහි රැස්කරන ලද්දේද එකතු කොට තබන ලද්දේද, එය එළවා තබන ලද්දේ වේ. “අච්ඡාදෙස්සාමි” යන මෙය ව්යවහාර වචන මාත්රයෙකි. ‘මෙනම් ඇති මහණහුට දෙන්නෙමි, යන මෙහි මේ අර්ත්ථය වේ. එහෙයින්ම මේ පදයාගේ පදභාජනයෙහිද ‘දස්සාමි’යි වදාරන ලදය.