අඤ්ඤාතකවිඤ්ඤත්තිශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” යනු අඥාතක විඥප්තිශික්‍ෂාපදයයි. එහි “උපනන්‍දො සක්‍ය පුත්තො”යි අසූදහසක් පමණ වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ මහණුන් අතුරෙහි ලාමකවූ ලොල් ස්වභාව ඇතියේය. “පට්ටො” දක්‍ෂයෙක. සමර්‍ත්‍ථයෙක. ප්‍රතිබලයෙක. ස්වරසම්පන්නයෙක. කණට මිහිරි වූ බසින් යුක්තයෙක. “කිස්මිං විය”. කිං විය, යන අර්‍ත්‍ථයි. දුකක් මෙනැයි යන අදහසයි. කෙලෙසීමක් වූවාක් මෙනි. හිරි ඔතප් වසයෙන් කම්පනයක් මෙන් තද කම්පනයක් මෙන් වේය යන අර්‍ත්‍ථයි.
“අද්ධානමග්ගං” අද්ධාන සඞ්ඛ්‍යාත වූ දිග්මගට නුවරවීථිමාර්‍ගයට යන අර්‍ත්‍ථයි. “තෙ භික්‍ඛු අච්ඡින්‍දිංසු” සොරකම් කළහ. ඒ භික්‍ෂූන්ගේ පා සිවුරු පැහැර ගත්හ යන අර්‍ත්‍ථයි. “අනුයුඤ්ජාහි” භික්‍ෂුභාවය දැනගනු පිණිස විචාරව. “අනුයුඤ්ජමානා” පැවිදිබව උපසපන්බව පාසිවුරු ඉටීම යන මේ ආදිය විචාරණු ලබන්නාහු. “එතමත්‍ථං ආරොචෙසු” භික්‍ෂුභාවය දන්වා යම් අර්‍ත්‍ථයෙක් තෙමේ “සාකෙතා සාවත්‍ථිං අද්ධානමග්ගං පටිපන්නා” යනාදිනයින් කියන ලද්දේද මේ කරුණ සැලකළහ.
“අඤ්ඤාතකං ගහපතිං වා” යනාදි තැන්හි පසුභාගයෙහි තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ වසායයි යමක් වදාරන ලදද, ඒ ආදි කොට මෙසේ අනුපූර්‍වකථා තොමෝ දතයුත්තීය. ඉදින් ලදරු භික්‍ෂූහු සොරුන් දැක පාසිවුරුගෙණ පලාගියාහුද, සොරු තෙරුන්ගේ හඳනා පොරෝනා පමණක්ම ගෙණ යෙත්ද, තෙරුන් විසින් එපමණකින් සිවුර නොම විනවිය යුතුය. කොළ අතු නොබිඳිය යුතුය. එකල්හි ලදරු භික්‍ෂූහු සියලු බඩු හැරදමා පලා ගියාහුද, සොරු තෙරුන්ගේ හඳනා පොරෝනයද ඒ බඩුද පැහැර ගෙණයෙත්ද, ලදරු භික්‍ෂූන් අවුත් තමතමන්ගේ නිවාසන පාරුපණයෝ එපමණකින් තෙරුන්ට නොදිය යුත්තාහ. පැහැර නොගත් සිවුරු ඇත්තාහු තමතමන්ට ප්‍රයෝජනය පිණිස කොළ අතු බිඳින්නට නොලබත්. පැහැර ගත් සිවුරු ඇත්තවුන්ගේ ප්‍රයොජනය පිණිස කොළ අතු බිඳින්නට ලබත්. පැහැර ගත් සිවුරු ඇත්තාහුම තමන්ටත් අන්හටත් ප්‍රයෝජනය පිණිස කොළ අතු බිඳින්නට ලබත්. එහෙයින් තෙරුන් විසින් හෝ කොළ අතු බිඳ කෙඳිවලින් ගොතා ලදරු භික්‍ෂූන්ට දිය යුතුය. ලදරු භික්‍ෂූන් විසින් හෝ තෙරුන්ට ප්‍රයෝජනය පිණිස කොළ අතු බිඳ ගොතා ඔවුන්ගේ අතටදී හෝ නොදී හෝ තමන් හැඳ තමන්ගේ නිවාසන, පාරුපණාදීහු තෙරුන්ට දිය යුත්තාහ. බීජගාම භූතගාම, විකොපනය නිමිතිකොට පාචිත්තිය නොමවේ. ඔවුන්ට තීර්ථකධ්වජ දැරීම නිමිතිකොට දුක්කටය නොවේ.
අතරමග රඳාතොටක් හෝ වේද, එබඳු අන්‍යවූ මිනිසුන් හෝ දකිත්ද සිවුරක් විනවිය යුත්තේය. ඒ භික්‍ෂූන්ට ඉල්ලීම ලද මනුෂ්‍යයෝ හෝ අන් කෙනෙක් හෝ කොළ අතු හැඳගත් භික්‍ෂූන් දැක උපන් උත්සාහ ඇත්තාහු යම්බඳු වස්ත්‍ර දෙත්ද, ඒ වස්ත්‍රයෝ දාවලු සහිත හෝ වෙත්වා, දාවලු රහිත හෝ වෙත්වා, නිල් ඈ නොයෙක් පැහැ ඇත්තාහු හෝ වෙත්වා, කැපවූ අකැපවූත් සියල්ල අච්ඡින්නචීවරස්ථානයෙහි සිටි බැවින් ඒ භික්‍ෂූන්ට හඳින්නටද පොරොවන්නටද වටියි. මෙය පරිවාරයෙහි,
“අකප්පකතං නපි රජනාය රත්තං
තෙන නිවත්‍ථො යෙන කාමං වජෙය්‍ය
න චස්ස හොති ආපත්ති
සො ච ධම්මො සුගතෙන දෙසිතො
පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”
කප්බින්දු නොකරනලද, රඳනින් නොරඳනාලද සිවුර ඒ මහණහු විසින් හඳින ලදුව යම් දිසාවකට කැමති සේ යන්නේනම් ඒ මහණහුට ඇවැතෙක් නොවේයයි ඒ ධර්‍මය තෙමේ සුගත්හු විසින් දෙසන ලද්දේය. මේ ප්‍රශ්නය දක්‍ෂයන් විසින් සිතිය යුතුය’යි කියන ලද්දේය.
මේ ප්‍රශ්නය පැහැරගත් සිවුරු ඇති මහණහු සඳහා කියනලදි. තවද තීර්ථකයන් සමග එක්වෙත්ද, ඒ තීර්ථකයෝද, ඒ මහණුන්ට කුසවැහැරිමුවාසිවුරු රුක්පතුරුමුවාසිවුරු ඵලකවැහැරිමුවාසිවුරු දෙත්ද ඒ සිවුරු ඔවුන්ගේ ලබ්ධිය නොගෙණ හැඳීම වටියි. හැඳද ලබ්ධිය නොගතයුතුය.
දැන් “යං ආවාසං පඨමං උපගච්ඡති සචෙ තත්‍ථ හොති සඞ්ඝස්ස විහාරචීවරං වා” යනාදි තැන්හි විහාරචීවරය නම් මිනිස්සු ආවාසයක් කරවා සිවු පසයද අප සතුය. පරිභොගයට යෙත්වායි තුන් සිවුරු පිළියෙලකොට තමන් විසින් කරවන ලද ආවාසයෙහි තබත්. මෙය විහාරචීවරය නම. “උත්තරත්‍ථරණං” ඇඳ මතුවෙහි අතුරන පසතුරුණ කියනු ලැබේ. “භුම්මත්‍ථරණං” පිරියම් කළ බිම පැහැය රකිනු පිණිස පටපිළියෙන් කරනලද අතුරන වස්ත්‍රයයි. ඒ මතුවෙහි තල්පතින් හෝ වැහැරියෙන් මැඩිලි යොදා වියූ තටුවක් එළා සක්මන් කෙරෙත්. “භිසිචච්ඡි” ඇද ගුදිරියෙහි හෝ පුටුගුදිරියෙහි හෝ උරිය යමකින් පුරවන ලද්දීද, ගසාදමා ගන්නට වටියි. මෙසේ මේ විහාරචීවරාදීන් අතුරෙහි යමක් ඒ ආවාසයෙහි වේද, එය නොවිචාරාද ගෙණ පැහැර ගත් සිවුරු ඇති මහණුන්ට හඳින්නට හෝ පොරොවන්නට ලැබේය’යි දතයුතුය. හෙද ලැබ පොරොවන්නෙමි, නැවැත තබන්නෙමි යන අදහසිනි. මූලච්ඡෙද්‍ය වශයෙන් නොවේ. ලැබද වනාහි නෑයන් කෙරෙන් හෝ උපස්ථායකයන් කෙරෙන් හෝ අන් තැනකින් හෝ යන කොතැනකින් හෝ පියවි ඇතියක්ම කටයුතුය. නොරට ගියහු විසින් එක් සඞ්ඝික ආවාසයෙක්හි සඞ්ඝිකපරිභොගයෙන් පරිභොග කරනු පිණිස තැබිය යුතුය. ඉදින් ඔහුගේ පරිභොගයෙන්ම ඒ සිවුර දිරයි හෝ නසියි හෝ නම් ග්‍රීවා නොවේ. කියූ ආකාර ඇති ගිහිවස්ත්‍ර ආදිකොට ඇති ගුදිරිඋර කෙළවර කොට සිටි මොවුන්ගෙන් කිසිවක් නොලබාද, ඒ මහණහු විසින් තෘණියෙන් හෝ පර්‍ණයෙන් හෝ වසාගෙන ආයුතුය.