චීවරප්රතිග්රහණශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” චීවර ප්රතිග්රහණ ශික්ෂාපදයයි. එහි “පිණ්ඩපාත පටික්කන්තා” පිණ්ඩපාතයෙන් වැළකුනී. “යෙන අන්ධවනං තෙනුපසඞ්කමි” ගණඔහී යන ශික්ෂාපදය නොපැණවූ, කල්හි අන්ධවනය යම් තැනෙක්හිද උපුල්වන් මෙහෙණ එහි එළැඹියාය. “කතකම්මා” කළ සොරකම් ඇත්තාහු. ගේහන්දි බිදීම් ආදියෙන් මෙරමා සතු භාණ්ඩ පැහැර ගත්තාහු’යි කියන ලද්දේ වේ. “චොරගාමනිකො” සොරදෙටු තෙමේ. හෙතෙමේ, පෙර උපුල්වන් ස්ථවිරාව හඳුනන්නේය. එහෙයින් සොරුන්ගේ පෙරටුව යන්නේ ඒ ස්ථවිරාව දැක ‘මෙහෙන් නොයවු, සියල්ලෝ මෙහෙන් එවු’යි ඔවුන් ගෙන අන්මගකින් ගියේය. “සමාධිම්හා වුට්ඨහිත්වා” ස්ථවිර තොමෝ පිරිසිඳි වේලාවෙහිම සමාධියෙන් නැගී සිටියාය. ඒ සොරදෙටු තෙමේද එකෙණෙහිම මෙසේ කීයේය. එහෙයින් ඕ තොමෝ ඇසූය. අසාද ‘දැන් මෙහි මාහැර අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත්තේය’යි සොරදෙටු ගසක එල්ලා තැබූ ඒ පිසූ මස්මුළ ගත්තීය. එහෙයින් “අථ ඛො උප්පලවණ්ණ භික්ඛුණී” යනු කියන ලදි.
“ඔහීය්යකො” එකලාවූයේ. ඉතිරිවූයේ. විහාරයෙහි පිළිදැගුම් වාරයට පැමිණ එකලාවමම විහාරයෙහි සිටියේය යන අර්ත්ථයි. “සචෙ මෙ ත්වං අන්තරවාසකං දදෙය්යාසි” යනු කුමක් හෙයින් කීයේද, යත්:- සියුම් වූ ඝනබද්ධ වූ අඳනය දැක ලොභයෙන් කීයේය. තවද, ස්ථවිරාවගේ අඳනයෙහි කළ ඔහුගේ ලොභය මදවේ. ස්ථවිරාවගේ කෙදි පස් කොටසෙහි කල්යාණතා තොමෝ කෙළ පැමිණියාය. එයින් ඒ ස්ථවිරාවගේ සිරුරෙහි පිරිපුන්බව බලන්නෙමි’යි විසමලොභය උපදවා මෙසේ කීයේය. “අන්තිමං” පස් වැදෑරුම් සිවුරු අතුරෙහි සියල්ලට කෙළවර වූයේ අන්තිමය. අන්තිම නම් පශ්චිමය. අන්යලෙශයකිනුදු විකපා හෝ පසුදුරා හෝ තැබූ සිවුරක් නැත්තේය’යි මෙසේ අනුදන්නාලද පරිදි පස්වැදෑරුම් සිවුරු දැරීම් වසයෙන්ම උදායි තෙරුන් අඳනය ඉල්ලූ කල්හි දෙන්නට නොපිළිවනැයි කිවූය. ලොභයෙන් නොකිවුය. රහතුන්ට ලොභයෙක් නැත්තේය. “නිප්පීළියමානා” උපමා හා කරුණු දක්වා වැඩිකොට පෙළනු ලබන්නී.
“අන්තරවාසකං දන්වා අගමාසි” තනවෙළුම හැඳ උදායි තෙරුන්ගේ මනදොළ යම්සේ නොපිරේද, එසේ අත්තල පමණක්ම දක්වා ගියාය.
කුමක් හෙයින් පෙරළා දෙනු ලබන සිවුර නොපිළිගන්නා කල්හි අවමන් කළාහුද, යත්:- ඉදින් අප කෙරෙහි ආර්ය්යයන්ගේ මෙපමණවූද, විශ්වාසයක් නැත්තේ නම් අපි කෙසේ යැපෙන්නෙමුදැ’යි පිළිසරණ නැති බැවින් පෙළෙන බැවිනි.
“අනුජානාමි භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං” සම සැදැහැති සම සිල් ඇති සමදිටු ඇති මේ පස්මහ දැහැමියන්ගේ පෙරළා දෙනු ලබන සිවුර ගන්නට අනුදනිමි, යන අර්ත්ථයි.
“පයොගෙ දුක්කටං” ගැනීම පිණිස අත්දිගු කිරීම් ආදිය නිමිති කොට දුක්කටය වේ. “පටිලාහෙන” පිළිගැණීමෙන් එහිද අතින් අතට හෝ දේවා, පාමුල්හි හෝ තබාවා, මත්තෙහි හෝ දමාවා, ඉදින් ඉවසා නම් ගන්නා ලද්දේම වේ. ශික්ෂමාණ සාමණෙරී උපාස්ථාදීන්ගේ අත යැවූ සිවුර පිළිගණී නම්, ඇවැත් නොවේ. සිවු පිරිස්හු සිවුරුද නොයෙක් පැහැති පිළීද ගෙණවුත් දහම් දෙසන්නහුගේ පාමුල්හි තබත්ද, දොළොස්රියන් තුළ උපචාරයෙහි හෝ සිට උපචාරය හෝ මුදා දමත්ද, එහි යමක් මෙහෙණක් සතුද, එය පිරුළක් නැතුව ගන්නහුට ඇවැත්ම වේ. තවද රාත්රිකාලයෙහි දමන ලද්දාහු වෙත්ද, ‘මේ සිවුර මෙහෙණගේය. මේ සිවුර අන්හුගේයයි දැන ගන්නට නොහැක්කේය. එහි පිරුළෙක් නැතැයි මහා පච්චරියෙහි හා කුරුන්දියෙහිද කියනලදී. එය අචිත්තකභාවය හා සමනොවේ. ඉදින් මෙහෙණක් තොමෝ වස්සාවාසිකයක් දේද, එය පිරුළුවක්ම කටයුතුය. පංසුකූල වසයෙන් ගන්නාහයි කසළගොඩ ආදියෙහි තබාද, පංසුකූලවසයෙන් ඉටා ගන්නට වටිය.
“අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී” නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ සන් ඇතියේද පාචිත්තිය තුනක් වේ. “එකතො උපසම්පන්නාය” මෙහෙණන් වෙත උපසපන් වූ මෙහෙණකගේ අතින් ගන්නහුට දුක්කටය වේ. මහණුන් වෙත උපසපන් වූ මෙහෙණකගේ අතින් ගන්නහුට පාචිත්තියම වේ.
“පරිත්තෙන වා විපුලං” මද ඇගීම් ඇති සිවුරකින් හෝ වහන් පසුම්බි පාපසුම්බි අස්වැටි කාබාන් ආදියකින් හෝ මාහැඟි සිවුරක් පිළිගනී නම් ඇවැත් නොවේ. මහාපච්චරියෙහි වනාහි යටත් පිරිසෙයින් අරළු කඩකිනැයිද කියන ලද්දේ වේ. “විප්රලෙන වා පරිත්තං” මේ කීම කියන ලද්දට විපර්ය්යාස වශයෙන් දතයුතුය. “අඤ්ඤං පරික්ඛාරං” පා පසුම්බි ආදීවූ යම්කිසි විකපීමට පොහොනා පැසුළු සිවුර පමණවූ පටපෙරහණක්ද නොවටියි. යම් සිවුරක් ඉටීමට නොපොහොනේද, විකපීමට නොපොහොනේද, ඒ සියල්ල වටියි. ඇඳ පමණවූ ගුදිඋරයක් වේද, වටියි. පාපසුම්බි ආදියෙහි කවර වාදයෙක්ද, සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය.