පුරාණචීවරශික්ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” පුරාණචීවරශික්ෂාපදයයි. එහි “යාව සත්තමා පිතාමභයුගා” පියහුගේ පියතෙමේ පිතාමහ නම. මුත්තනුය. මුත්තනුගේ යුගය පිතාමහයුග නම. යුග නම් ආයුපමණයි. මේ වචනමාත්රයෙක්මය. අර්ත්ථ වශයෙන් වනාහි මුත්තාම පිතාමහයුග නම්වේ. ඉන්මතු සියලු පූර්වපුරුෂයෝ මුත්තා ගැණීමෙන්ම ගන්නා ලදහ. මෙසේ යම්තාක් සත්වන පුරුෂතෙමේ වේද ඒතාක් යම් ස්ත්රියක් තොමෝ මවුපසින් පියපසින් සම්බන්ධයක් නැත්තීද, ඕ තොමෝ ‘යාව සත්තමා පිතාමහයුගා අසම්බන්ධා’යි කියනු ලැබේ. මෙද, දෙශනා මුඛයෙක්ම වේ. “මාතිතො වා පිතිතො වා”යි කියූ බැවින් මුත්තාගේ ආයුපමණද, පියාගේ මවු වූ මුත්තනියගේ ආයුපමණද, මවුගේ පියවූ මුත්තාගේ ආයුපමණද, මවුගේ මවු වූ මුත්තනියගේ ආයුපමණද, ඔහුගේ සහොදර සහොදරී බෑනා, දූපුත්, මුණුබුරු මුනුබුරී ආදීහුද යන සියලු දෙන මෙහි සඞ්ග්රහ කරන ලද්දාහුමයයි දතයුතුය.
එහි මේ විස්තරනයය:- පියතෙමේ, පියාගේ පියතෙමේ, ඔහුගේ පියතෙමේ, ඔහුගේද පියතෙමේයි මෙසේ සත්වන යුගය දක්වා පියතෙමේ, පියාගේ මවුතොමෝ, ඇයගේ පියතෙමේ, මවුතොමෝ, සහෝදර තෙමේ, සහෝදරී තොමෝ, පුත්රයෝ තුමු දුහිතෘහු තුමූ දැයි මෙසේද උඩද යටද යන සත්වන යුගය දක්වා පිය තෙමේ, පියාගේ සහෝදර තෙමේ, පියාගේ සහෝදරී තොමෝ, පියාගේ පුත්රයෝ තුමූ, පියාගේ දුහිතෘහු තුමූද යන මොවුන් හා ඔවුන්ගේ පුත්ර දුහිතෘ පරම්පරාදැයි මෙසේද සත්වන යුගය දක්වා, මවුතොමෝ, මවුගේ සහෝදර තෙමේ, මවුගේ සහෝදරී තොමෝ, මවුගේ පුත්රයෝ තුමූ, මවුගේ දුහිතෘහු තුමූ, ඔවුන්ගේද පුත්ර දුහිතෘ පරම්පරාදැයි මෙසේද සත්වන යුගය දක්වා, මාතෘසම්බන්ධයෙන් සම්බන්ධයක් නැත්තාවූ පිතෘසම්බන්ධයෙන් සම්බන්ධයක් නැත්තාවූ මෝ තොමෝ අඤ්ඤාතිකා නම.
“උභතො සඞ්ඝෙ” භික්ෂූණී සඞ්ඝයා සමීපයෙහි. ඤප්තිචතුර්ත්ථවූද භික්ෂුසඞ්ඝයා සමීපයෙහි ඥප්තිචතුර්ත්ථවූද අෂ්ටවාචික විනය කර්මයෙන් උපසපන් මෙහෙණ තොමෝය.
“සකිං නිවත්ථම්පි සකිං පාරුතම්පි” පඬු පොවා කප් බින්දු කොට එක්වරක් නමුදු හඳින ලද්දක් හෝ පොරෝනා ලද්දක් හෝ යටත් පිරිසයින් පිරිබෝහිසින් දසරුවෙහි හෝ හිසමතුයෙහි හෝ කොට මග ගියේ වේද, හිස මතුයෙහි කොට හොත්තේවේද, මෙද පුරාණ චීවරයම වේ. පසතුරණට යට කොට හොවීද, අතින් හෝ ඔසොවා අහස්වියනක් කොට හිසින් නොපහසමින් යේද, මෙය පරිභොගයෙක් නම් නොවේයයි කුරුන්දියෙහි කියනලදි.
“ධොතං නිස්සග්ගියං” මෙහි මෙසේ ඇණවූ මෙහෙණක් තොමෝ දෝනා පිණිස උදුන සදාද, දර එක් කෙරේද, ගිනි දල්වාද, දිය ගෙණ ඒද, යම්තාක් ඒ සිවුර ධොවනය කොට ඔසොවාද, ඒතාක් මෙහෙණගේ ප්රයොගයක් ප්රයොගයක් පාසා මහණහුට දුක්කටය වේ. ධොවනය කොට එසවූ ඇසිල්ලෙහි නිසගි වේ. ඉදින් නොමනාකොට දෝනාලදැයි. හඟිමින් නැවත පිසයි හෝ සෝදයි හේ යම්තාක් නිමාවට යේද, ඒතාක් ප්රයොගයක් ප්රයොගයක් පාසා දුක්කටය වේ. රඳන් කිරීමෙහිද තැළීමෙහිද මේ නයවේ. රඳන් දෙණෙහි හෙවත් පඬුඔරුවෙහි පඬු වක් කර යම්තාක් සිවුර වරක් පඬු පොවාද එයට පෙර යම් කිසිවක් පඬු පෙවීම පිණිස කෙරේද, පසුව හෝ නැවත පඬු පොවාද, සියලු තැන්හි ප්රයොගයක් ප්රයොගයක් පාසා මහණහුට දුක්කටය වේ. තැලීමෙහිද ප්රයොගය තෙමේ මෙසේ දතයුතුය.
“අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ධොවාපෙති” මේ සිවුර ධොවනය කරව’යි නොකියාද, එහෙත් දෝනා පිණිස කාය විකාරයක් කොට අතින් හෝ අතට දේද, පා මුල්හි හෝ තමාද මත්තෙහි දමාද, ශික්ෂමාණ සාමණේර සාමණේරී උපාසක නීර්ත්ථකාදීන්ගේ හෝ අත යවාද, ගංතොට ධොවනය කරන්නියගේ දොළොස්රියනක් තුළ උපචාරයෙහි හෝ දමාද, දොළොස් රියනක් තුළ අවකාශයෙහි හෝ සිට ධොවනය කරවන ලද්දේනම් ධොවනය කරවන ලද්දේම වේ. ඉදින් දොළොස්රියන් උපචාරය මුදා මෑතින් තබාද, ඕතොමෝද ධොවනය කොට ගෙන එන්නීද ඇවැත් නොවේ. ශික්ෂමාණවකගේ හෝ සාමණේරියකගේ හෝ උපාසිකාවකගේ හෝ අතට දෝනා පිණිස දේද, ඕ තොමෝ උපසපන් වී ධොවනය කෙරේනම් ඇවැත් වේමය. උපාසකයකුගේ අතට දේද, ඔහුද ලිඞ්ගපරිවර්තනය වූ කල්හි මෙහෙණන් අතුරෙහි පැවිදිව උපසපන්ව ධොවනය කෙරේනම් ඇවැත්මය. සාමණේරයකුගේ භික්ෂුනමක්හුගේ හෝ අතට දුන් කල්හිද ලිඞ්ගපරිවර්තනයෙහිදී මේ නයමවේ.
“ධොවාපෙති රජාපෙති” යනාදි තන්හි පළමුකොට නිමවූ එක් වස්තුවකින් නිසගිය වේ. දෙවන වස්තුවෙන් දුක්කටය වේ. තුනම කරවන මහනිසගිය වේ. සෙසු දෙකින් දුක්කට දෙකක් වේ. යම්හෙයකින් මේ ධොවනාදිය පිළිවෙළින් හෝ උපිළිවෙළින් හෝ කරවන්නහුට මිදීමක් නැත්තේද, එහෙයින් මෙහි ත්රිචතුෂ්කයෝ කියන ලදහ. ‘මේ සිවුර පඬු පොවා සෝදා ගෙණෙව’යි කීකල්හි ඒ මෙහෙණ තොමෝ පළමු කොට සෝදා පසුව පඬු පොවාද, නිසගිය හා දුක්කටයෙක්ම වේ. මෙසේ සියලු විපරීතවචනයන්හි නය දතයුතුය. ඉදින් ‘සොදා ගෙණෙව’යි කියන ලද්දී සෝදාද පඬු පොවාද සේදවීම නිමිති කොටම ඇවැත් වේ. පඬුපෙවීමෙහි ඇවැත් නොවේ. සියලු තැන්හි උක්තාධික කරණයෙහි මෙසේය. ‘නොකියන ලද්දී සෝදයි’ යන මේ ලක්ෂණයෙන් අනාපත්තිය දතයුත්තීය. මේ සිවුරෙහි යමක් කටයුත්තේද, ඒ සියල්ල තට භාරය’යි කියන්නේ එක් වචනයෙන් බොහෝ ඇවැතුන්ට පැමිණේ.