තෘතීයකඨිනශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” තෘතීය කඨින ශික්‍ෂාපදයයි. එහි “උස්සාපෙත්‍වා පුනප්පුනං විමජ්ජති” යනු රැලි නැසුනු කල්හි මේ වස්ත්‍රය මහත් වන්නේය’යි සිතන්නේ දිය ඉස පයින් පාගා අතින් ඇද ඔසොවා පිටෙහි ගටාද, එය අව්වෙහි වියලුනේ පළමු පමණම වේද, හෙතෙමේ නැවතත් එසේ කෙරේද, එහෙයින් “උස්සාපෙත්‍වා පුනප්පුනං විමජ්ජති’යි වදාළසේක. මෙසේ වෙහෙසන ඔහු දැක භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියෙහි හුන්සේක් නික්ම සෙනාසනචාරිකාවෙහි ඇවිදින්නකු මෙන් එහි වැඩිය සේක. ‘අද්දසා බා භගවා’ යනාදිය එහෙයින් කියන ලදී.
“එකාදසමාසෙ” එක් ඉල්මස හැර සෙසු එකොළොස් මාසයෙහි “සත්තමාසෙ” ඉල්මසද හෙමන්තයෙහි සිවුමසදැයි යන පස්මස හැර සෙසු සත්මසෙහි “කාලෙපි ආදිස්ස දින්නං” සඞ්ඝයාට හෝ මේ අකාලචීවරයයි උදෙසා දෙන ලද්දකි. එක් පුද්ගලයක්හට හෝ ‘මේ තට දෙමි’යි දෙන ලද්දකි.
“සඞ්ඝතො වා” තමාට පැමිණ කොටස් වසයෙන් සඞ්ඝයා කෙරෙන් හෝ උපදින්නේය. “ගණතොවා” ‘මේ වස්ත්‍රය සූත්‍රාන්තිකගණයට දෙමු, මේ වස්ත්‍රය ආභිධර්මික ගණයටය’යි මෙසේ ගණයට දෙත්ද, තමාට පැමිණි කොටස් වසයෙන් ඒ ගණයාගෙන් හෝ උපදින්නේය.
“නො චස්ස පාරිපූරී” පරිපූර්‍ණ නොවන්නේ නම්, යම්පමණකින් කරනු ලබන්නේ අධිෂ්ඨාන චීවරයට පොහොනේද, ඒ සිවුර එපමණ නොවන්නේ නම්, අඩු වන්නේ නම් යන අර්‍ත්‍ථයි.
“පච්චාසා හොති සඞ්ඝතො වා” යනාදි තන්හි ‘අසුවල් දවසෙහි සඞ්ඝතෙමේ සිවුරු ලබන්නේය, ගණ තෙමේ සිවුරු ලබන්නේය, එයින් මට සිවුරක් ලැබෙන්නේය’යි මෙසේ සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් ප්‍රත්‍යාශාවක්වේද, ‘මට සිවුරු පිණිස නෑයන් විසින් එවන ලද්දේය, මිතුරන් විසින් එවන ලද්දේය, ඔවුහු ආවාහු සිවුරු දෙන්නාහ’යි මෙසේ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ ප්‍රත්‍යාශාවක් වේ. “පංසුකුල වා” මෙහි පංසුකූලයක් හෝ ලබමි’යි මෙසේ ප්‍රත්‍යශාවක් වේ’යයි යෙදිය යුතුය. “අත්තනො වා ධනෙන” තමන්ගේ කපු නූල් ආදි ධනයෙන් අසුවල් දවසෙහි වනාහි ලබමි’යි මෙසේ හෝ ප්‍රත්‍යශාව වේය යන අර්‍ත්‍ථයි.
“තතො චෙ උත්තරිං නික්‍ඛිපෙය්‍ය සතියාපි පච්චාසාය” මසකට වැඩියෙන් තබන්නේ නම් නිසගිපචිතිය යන අර්‍ත්‍ථයි. මෙසේ වනාහි ‘තතො උත්තරිං’යිද, ‘ඉමස්ස මාසපරමතො උත්තරිං’ ද පදභාජනය නොකියා යම්හෙයකින් අතර උපදින ප්‍රත්‍යාශාචීවරයෙහි මූලචීවරය උපන්දින පටන් දිනය යම්තාක්ද ඒතාක් උපන් ප්‍රත්‍යාශාචීවරය මාසපරම මූලචීවරය කොට තම ගතික කෙරේද, ඉන් මත්තෙහි මූලචීවරගතික කෙරේද, එහෙයින් ඒ විශෙෂය දක්වන්නට “තදහුප්පන්නෙ මූලචීවරෙ” යනාදි නයින් පදභාජනය වදාරන ලදී. එය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
“විසභාගෙ උප්පන්නෙ මූලචීවරෙ” ඉදින් මූලචීවරය සියුම්වේද, ප්‍රත්‍යාශාචීවරය දළවේද, එක්කොට මසන්නට නොහැකිවේද, රාත්‍රීහුද ඉතිරි වෙත්ද, ඒ තාක් මාසය නොපිරේද, නොකැමැත්තෙන් නිග්‍රහ වශයෙන් සිවුර නොකරවිය යුතුය. අන්‍යවූ ප්‍රත්‍යාශාචීවරයක් ලැබම නියම කාලය තුළම කරවිය යුතුය. දළවූ ප්‍රත්‍යාශාචීවරය පරිෂ්කාචොලය කොට ඉටිය යුතුයි. නැවත මුලචීවරය දළවේද, ප්‍රත්‍යශාචීවරය සියුම්වේද, මූලචීවරය පරිෂ්කාරචොලය කොට ඉටා ප්‍රත්‍යාශාචීවරයම මූලචීවරය කොට තැබිය යුතුය. ප්‍රත්‍යාශාචීවරය නැවැත මසක් පරිහාරය ලබයි. මේ උපායයෙන් යම්තාක් කල් කැමැත්තේද, ඒතාක් කල් ඔවුනොවුන් මූලචීවරය කොට තබන්නට සුදුසුය. සෙස්ස ප්‍රකටමය.
සමුත්‍ථානාදීහු ප්‍රථම කඨින ශික්‍ෂාපදය සමානම වෙත්.
තෘතීය කඨින ශික්‍ෂාපදවර්‍ණනාව නිමි.
පුරාණචීවරශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන” පුරාණචීවරශික්‍ෂාපදයයි. එහි “යාව සත්තමා පිතාමභයුගා” පියහුගේ පියතෙමේ පිතාමහ නම. මුත්තනුය. මුත්තනුගේ යුගය පිතාමහයුග නම. යුග නම් ආයුපමණයි. මේ වචනමාත්‍රයෙක්මය. අර්‍ත්‍ථ වශයෙන් වනාහි මුත්තාම පිතාමහයුග නම්වේ. ඉන්මතු සියලු පූර්‍වපුරුෂයෝ මුත්තා ගැණීමෙන්ම ගන්නා ලදහ. මෙසේ යම්තාක් සත්වන පුරුෂතෙමේ වේද ඒතාක් යම් ස්ත්‍රියක් තොමෝ මවුපසින් පියපසින් සම්බන්‍ධයක් නැත්තීද, ඕ තොමෝ ‘යාව සත්තමා පිතාමහයුගා අසම්බන්‍ධා’යි කියනු ලැබේ. මෙද, දෙශනා මුඛයෙක්ම වේ. “මාතිතො වා පිතිතො වා”යි කියූ බැවින් මුත්තාගේ ආයුපමණද, පියාගේ මවු වූ මුත්තනියගේ ආයුපමණද, මවුගේ පියවූ මුත්තාගේ ආයුපමණද, මවුගේ මවු වූ මුත්තනියගේ ආයුපමණද, ඔහුගේ සහොදර සහොදරී බෑනා, දූපුත්, මුණුබුරු මුනුබුරී ආදීහුද යන සියලු දෙන මෙහි සඞ්ග්‍රහ කරන ලද්දාහුමයයි දතයුතුය.
එහි මේ විස්තරනයය:- පියතෙමේ, පියාගේ පියතෙමේ, ඔහුගේ පියතෙමේ, ඔහුගේද පියතෙමේයි මෙසේ සත්වන යුගය දක්වා පියතෙමේ, පියාගේ මවුතොමෝ, ඇයගේ පියතෙමේ, මවුතොමෝ, සහෝදර තෙමේ, සහෝදරී තොමෝ, පුත්‍රයෝ තුමු දුහිතෘහු තුමූ දැයි මෙසේද උඩද යටද යන සත්වන යුගය දක්වා පිය තෙමේ, පියාගේ සහෝදර තෙමේ, පියාගේ සහෝදරී තොමෝ, පියාගේ පුත්‍රයෝ තුමූ, පියාගේ දුහිතෘහු තුමූද යන මොවුන් හා ඔවුන්ගේ පුත්‍ර දුහිතෘ පරම්පරාදැයි මෙසේද සත්වන යුගය දක්වා, මවුතොමෝ, මවුගේ සහෝදර තෙමේ, මවුගේ සහෝදරී තොමෝ, මවුගේ පුත්‍රයෝ තුමූ, මවුගේ දුහිතෘහු තුමූ, ඔවුන්ගේද පුත්‍ර දුහිතෘ පරම්පරාදැයි මෙසේද සත්වන යුගය දක්වා, මාතෘසම්බන්‍ධයෙන් සම්බන්‍ධයක් නැත්තාවූ පිතෘසම්බන්‍ධයෙන් සම්බන්‍ධයක් නැත්තාවූ මෝ තොමෝ අඤ්ඤාතිකා නම.