ද්විතීයකඨිනශික්‍ෂාපද වර්ණනාව
“තෙන සමයෙන බුද්ධො භගවා” උද්දෙසිත ශික්‍ෂාපදයයි. එහි “සන්තරුත්තරෙන” යන්නෙහි “අන්තර” යනු අන්තරවාසකය කියනු ලැබේ. “උත්තරං” යනු උත්තරාසඞ්ගය කියනු ලැබේ. අන්තරවාසකය සමග උත්තරාසඞ්ගය සන්තරුත්තර නමි. ඒ සන්තරුත්තරයෙන්, අඳනයෙන් හා උතුරුසඟසිවුරෙන් යන අර්‍ත්‍ථයි. “කණ්ණකිතා” නීති යනු ඩහදියෙන් පැහැසූ අවකාශයන්හි හටගත් කලුසුදු මඬුලු “අද්දසා ඛො ආයස්මා ආනන්‍දො යෙනාසනචාරිකං ආභිණ්ඩන්තොති” ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දහවල් විවෙකය පිණිස ගඳකිළියට වැඩම කළ කල්හි ඒ අවකාශය ලැබ නොමනාව තැබූ දැවබඩු මැටිබඩු තැන්පත් කරමින්, නොහැමදිතැන් හමදිමින්, ගිලන් මහණුන් හා පිළිසඳර කරමින් ඒ භික්‍ෂූන්ගේ සෙනාසනස්ථානයට පැමිණියාහු දුටහ. ‘අද්දසා ඛො ආයස්මා ආනන්‍දො සෙනාසනචාරිකං ආභිණ්ඩන්තො’යි එහෙයින් කියනලදී.
“අවිප්පවාසසම්මුතිං දාතුං” අවිප්‍රවාසය නිමිතිකොට සිටි සම්මුති තොමෝ අවිප්පවාසසම්මුති නම. අවිප්‍රවාසය පිණිස හෝ කටයුතු සම්මුති තොමෝ අවිප්පවාසසම්මුති නම. මෙහි ආනිසංසය කවරේද, යත්:- යම් සිවුරකින් වෙන්ව වසාද, ඒ සිවුර නිසගි නොවේ. ඇවැතටද නොපැමිණේ. මේ ආනිසංසයයි. කොපමණ කල් වෙන්ව විසිය යුතු ද, යත්: මහාසුම්මස්ථවිරයන් වහන්සේ ‘යම්තාක් කල් රෝගය නොසන්සිදී පවතීද ඒ තාක්කල්ය. රෝගය සන්සිදී ගිය කල්හි නොලැසිව සිවුර තැබු තැනට ආයුතුය’යි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ ‘වහා යන්නහුගේ රෝගය නැවැත කිපෙන්නේය, එහෙයින් හිමින් ආයුතුය. යම් කලෙක පටන් ජන සමූහයක් හෝ සොයාද, ‘යමියි ආභොගය හෝ කෙරේද, එතැන් පටන් වටියි. ‘දැන් නොයන්නෙමි’යි මෙසේ ධුරනික්‍ෂෙපය කරන්නහු විසින් පච්චුද්ධරණය කටයුතුය. පච්චුද්ධරණය නොකෙරේම් අතිරේක චීවරස්ථනයෙහි සිටින්නේය’යි කීය. මොහුගේ රෝගය නැවැතත් කිපේ නම් කුමක් කටයුතුද, යත්:- එහිලා ඵුස්සදෙව ස්ථවිරයන්වහන්සේ ඒ රොගයම නැවත කිපේ නම්, ඒ සම්මුතියම වන්නීය. නැවත සම්මුතිදානයක් නැත්තේය, නැවත අනික් රොගයෙක් කිපේද, නැවත සම්මුතිය දියයුතුයයි කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ ‘ඒ රෝගය හෝ වේවා, අනික් රොගයෙක් හෝ වේවා, නැවැත සම්මුතිදානයෙක් නැත්තේය’යි කීහ.
“නිට්ඨිතචීවරස්මිං භික්‍ඛුනා” මෙහි ප්‍රථම ශික්‍ෂාපදයෙහි මෙන් අර්‍ත්‍ථය නොගෙන ‘නිට්ඨිතෙ චීවරස්මිං භික්‍ඛුනො’යි මෙසේ සම්බන්‍ධයාගේ වසයෙන් කරණවචනයාගේ අර්‍ත්‍ථය දතයුතුය. කරණවසයෙන් මහණහු කරණ කොටගෙණ මෙය නම් කටයුතුය’යි අර්‍ත්‍ථයෙක් නැත්තේය. සම්බන්‍ධ වසයෙන් වනාහි මහණහුගේ සිවුර කොට නිමි කල්හිද කඨිනය උදුල කල්හිද මෙසේ සුන් පිළිබොධය ඇති මහණ තෙමේ එක් රැයකුදු තුන්සිවුරෙන් වෙන්ව වසන්නේ නම්යි මෙසේ අර්‍ත්‍ථය යෙදෙන්නේය. එහි “තිචීවරෙන” ඉටූ තුන් සිවුරු අතුරෙහි යම්කිසි එකෙකින් වෙන්ව විසූයේද, තුන් සිවුරෙන් වෙන්ව විසූයේම වේ. වෙන්ව විසීම වැළකු තුන් සිවුරට ඇතුළත්වූ එකෙකින් වෙන්ව විසූ බැවිනි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහි “සඞ්ඝාටියා වා” යනාදිය වදාළසේක. “විප්පවසෙය්‍ය” වෙන්න වසන්නේය.
“ගාමො එකූපචාරො” යනාදිය අවිප්‍රවාසලක්‍ෂණ ව්‍යවස්ථාව පිණිස වදාරන ලද්දේය. එයින් මත්තෙහි යථා ක්‍රමයෙන් එම පසළොස් මාතෘකාපදයන් විස්තර කරන්නේ “ගාමො එකූපචාරො නාම” යනාදිය වදාළාහුය. එහි “එකකුලස්ස ගාමො” එක රජකුගේ හෝ එක් ග්‍රාමභොජකයකුගේ හෝ ගමය. “පරික්‍ඛිත්තො” යම් කිසි පවුරකින් හෝ වැටකින් හෝ දිය අගලකින් හෝ වටකරන ලද්දේය. “පරික්‍ඛිත්තො” මෙපමණකින් එක් කුලයක් ඇති ගමෙහි එක් උපචාරයක් ඇතිබව දක්වන ලදී. “අන්තො ගාමෙ වත්‍ථබ්බං” මෙබඳු ගමෙහි සිවුර තබා ගම ඇතුළෙහි කැමැති තැනක අරුණ නංවන්නට වටියි. “අපරික්‍ඛිත්තො” මෙයින් ඒ ගමෙහිම නොයෙක් උපචාර ඇතිබව දක්වන ලදී. මෙබඳු ගමෙහි යම් ගෙයක සිවුර තබන ලද්දේද, එහිම විසිය යුතුය. “හත්‍ථපාසා වා න විජහිතබ්බා” නොහොත් අත්පසින් නොහැරිය යුතුය. දෙරියන් හමාරක් පමණ පෙදෙසින් මතුවෙහි නොහැරිය යුතුයයි කියන ලද්දේ වේ. දෙරියන් හමාරක් අභ්‍යන්තරයෙහි විසීම වටියි. ඒ ප්‍රමාණය ඉක්මවා සෘද්ධිමත් භික්‍ෂුතෙමේ අහසෙහි අරුණ නංවාද නිසගියම වේ. මෙහිද “යස්මිං ඝරෙ” ගෙයි පිරිසිඳීම ‘එක්කුලයක නිවෙසනය වේ’ය යන ආදිලක්‍ෂණයෙන් දතයුතුය.
“නානාකුලස්ස ගාමො” නොයෙක් රජුන්ගේ හෝ නොයෙක් ග්‍රාම භොජකයන්ගේ හෝ වේසාලි කුසිනාරාදිය සමාන වූ ගම. “පරික්‍ඛිත්තො” යන මෙයින් නොයෙක් කුල ඇති ගමෙහි එක් උපචාරයක් ඇති බව දක්වන ලදී. “සභායෙ වා ද්වාරමූලෙ වා” මෙහි “සභායං”යි කියයුත්තෙහි ලිඞ්ගවිපර්‍ය්‍යාසයෙන් සභාශබ්දය කියනලදය. “ද්වාරමූලෙ” නුවරදොර සමීපයෙහි, මේ කියන ලද්දේ වේ. මෙබඳු ගමක යම් ගෙයක සිවුර තබන ලද්දේ ද ඒ ගෙයි හෝ විසිය යුතුය. එහි ශබ්ද ගැටීමෙන් හෝ ජනසම්බාධයෙන් හෝ වසන්නට නොහැකියහු විසින් ශාලාවක හෝ නුවරදාර සමීපයෙහි හෝ විසිය යුතුය. එහිදු වසන්නට නොහැකියහු විසින් යම්කිසි පහසු තැනෙක්හි වාසය කොට අරුණතුළ අවුත් ඒ සභාද්වාරමූල යන මොවුන්ගේම අත්පසින් හෝ නොහැරිය යුතුය. සිවුර තැබූ ගෙයි හෝ සිවුරෙහි අත්පසෙහි විසීම ගැන කියයුත්තක්ම නැත්තේය.