පසන්නාකාරකථා
මෙසේ දේශනාවට ස්තුතිකොට මේ දේශනාවෙන් රත්නත්‍රයයෙහි පහන්සිත් ඇත්තේ ප්‍රසන්නයන් විසින් කළයුතු සත්කාරය කරනුයේ ‘එසාහං’ යනාදිය කීයේය. එහි ‘එසාහං’ ඒ මම. ‘භවන්තං ගොතමං සරණං ගච්ඡාමි’ ‘භවත් ගෞතමයන් වහන්සේ පිළිසරණැයි දනිමි. භවත් ගෞතමයන් වහන්සේ මට පිළිසරණයහ, අනර්‍ත්‍ථයන් වැළකීමෙන් හා අර්‍ත්‍ථයන් මොනවට පිළියෙල කිරීමෙන් පිහිටියහ, පාපයෙන් රකින්නාහ, හිතද කරන්නාහ’යි යන මේ අදහසින් භවත් ගෞතමයන් වහන්සේ දනිමි, භජනය කරමි, සෙවනය කරමි, ලංව ඇසුරු කරමි, මෙසේ දනිමි, මෙසේ අවබෝධ කරමියි යම් ධාතු කෙනෙකුන්ගේ ගමනාර්‍ත්‍ථයක්වේද, ඒ ධාතුන්ගේ අවබෝධයද අර්‍ත්‍ථය වේ. එහෙයින් ‘ගච්ඡාමි’ යන මේ ක්‍රියාපදයට දනිමි, අවබෝධ කරමියි මේ අර්‍ත්‍ථයද කියන ලද්දේ වේ. ‘ධම්මඤ්ච භික්‍‍‍ඛුසඞ්ඝඤ්ච’ මෙහි අවබෝධකළ මාර්‍ගය ඇති, සාක්‍ෂාත්කළ නිරොධය ඇති, අනුශාසනා පරිදි පිළිපදින්නවුන් සිවුඅපායයන්හි නොවැටුනවුන්කොට දරානුයි ධර්‍ම නම්වේ. ඒ ධර්‍මය අර්‍ත්‍ථ වශයෙන් ආර්‍ය්‍ය මාර්‍ගයද නිර්‍වාණයද වේ. මෙය වදාරණ ලද්දේමය: ‘යාවතා භික්‍ඛවෙ ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්‍ඛායති’යි විස්තරය වේ. හුදෙක් ආර්‍ය්‍ය මාර්‍ගයද නිර්‍වාණයද අග්‍ර නොවේ. තවද, ආර්‍ය්‍යඵලයන් සමග පර්‍ය්‍යාප්ති ධර්‍මයද අග්‍ර වේ. ඡත්තමාණවක විමානයෙහි මෙය කියන ලද්දේය:
‘රාග විරාග මනෙජ මසොකං ධම්මසඞ්ඛතමප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්‍ථමුපෙමි’යි.
මෙහි වනාහි ‘රාගවිරාගො’ යන මෙයින් මාර්‍ගය වදාරණ ලද්දේය. ‘අනෙජමසොකං’ යන මෙයින් ඵලය වදාරණ ලද්දේය. ‘ධම්මමසඞ්ඛතං’ යන මෙයින් නිර්‍වාණය වදාරණ ලද්දේය. ‘අප්පටිකුලං මධුරමිමං පගුණං සුවිභත්තං’ යන මෙයින් පිටකත්‍රය වශයෙන් බෙදනලද සියලු ධර්‍මස්කන්‍ධයෝ ගැනෙත්. දිට්ඨි සීලයන්ගේ සංහතභාවයෙන් කෙලෙස් නසන ලද්දේනුයි සඞ්ඝ නම්වේ. ඒ සඞ්ඝතෙමේ අර්‍ත්‍ථ වශයෙන් අෂ්ටාර්‍ය්‍ය පුද්ගලසමූහ තෙමේය. ඒ විමානයෙහිම මෙය වදාරණ ලද්දේය:
‘යත්‍ථ ච දින්නමහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගෙසු,
අට්ඨ ච පුග්ගල ධම්මදසා තෙ සඞ්ඝමිමං සරණත්‍ථමුපෙමි’යි
භික්‍ෂූන්ගේ සමූහය තෙමේ භික්‍‍‍ඛුසඞ්ඝ නමි. මෙපමණකින්ද බ්‍රාහ්මණතෙමේ ත්‍රිවිධශරනගමනය දන්වා සිටියේය.
සරණගමනකථා
දැන් ඒ තුන්සරණයෙහිම දක්‍ෂභාවය පිණිස සරණ, සරණගමන, යමෙක් සරණයටයේනම් ඔහු, සරණගමනප්පභෙද, සරණගමන ඵල, සඞ්කිලෙසභෙද මේ විධි දතයුතුය. ඒ විධිය මෙහි කියනු ලබන්නේනම්, විනය නිදානය බැරෑරුම් කරන්නේයයි මෙහි නොකියන ලද්දේය. ප්‍රයෝජන ඇත්තවුන් විසින් ප්‍රපඤ්චසුදනී නම් මද්ධ්‍යමනිකායර්‍ත්‍ථ කථාවෙහි භයභෙරව සූත්‍ර වර්‍ණනාවෙන් හෝ සුමඞ්ගලවිලාසිනී නම් දීඝනිකායාර්‍ත්‍ථ කථාවෙහි ශරණ වර්‍ණනාවෙන් උගත යුතුය.
උපාසකත්තපටිවෙදනාකථා
‘උපාසකං මං භවං ගොතමො ධාරෙතු’ භවත්, ගෞතමයන් වහන්සේ ‘මෙතෙමේ උපාසකයෙකැ’යි මා දරණ සේක්වා යනු අර්‍ත්‍ථයි. උපාසක විධියෙහි දක්‍ෂභාවය පිණිස මෙහිදී ‘උපාසක කවරේද? කුමක්හෙයින් උපාසකැයි කියනු ලැබේද? මොහුගේ ශිලය කුමක්ද? ආජීවය කවරේද? විපත්තිය කවරේද? සම්පත්තිය කවරේදැ’යි මේ ප්‍රකීර්‍ණකය දතයුතු වේ. එය ඉතා බැරෑරුම්ය. එහෙයින් මෙහි නොබෙදන ලදී. ප්‍රයෝජන ඇත්තවුන් විසින් ප්‍රපඤ්චසුදනී නම් මද්ධ්‍යමනිකායර්‍ත්‍ථ කථාවෙහි කියූ ක්‍රමයෙන්ම දතයුතුය.
‘අජ්ජතග්ගෙ’ මෙහි ‘අග්ග’ ශබ්දය තෙමේ ආදිකොටි, කොට්ඨාස, සෙට්ඨ යන මෙතන්හි දක්නා ලැබේ. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං’ යනාදි තන්හි ආදියෙහි දක්නා ලැබේ. ‘තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්‍ය, උච්ඡග්ගං වෙළග්ගං’ යනාදී තන්හි කෙළවරෙහිද, ‘අම්ඛිලං මධුරග්ගං ච තිත්තකග්ගං අනුජානාමි භික්‍‍‍ඛවෙ විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා ගාහෙතුං’ යනාදි තන්හි කොට්ඨාසයෙහිද, ‘යාවතා භික්‍‍‍ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා - පෙ- තථාගතො තෙසං අග්ගමක්‍ඛායති’ යනාදි තන්හි ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙහිද දක්නා ලැබේ. මෙය වනාහි මෙය ආද්‍යර්‍ත්‍ථයෙහි දතයුතුය. එහෙයින් ‘අජ්ජතග්ගෙ’ යනු ‘අද ආදී කොටැ’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. ‘අජ්ජතං’යි අදබවැ’යි කියන ලද්දේ වේ. ‘අජ්ජදග්ගෙ’යි හෝ පාඨයි. දකාරය පදසන්‍ධිය කරන්නේය. ‘අද පටන් කොටැ’යි කියන ලද්දේ වේ. ‘පාණුපෙතං’ දිවිතෙක් පැමිණි. ‘භවත් ගෞතමයන් වහන්සේ මාගේ ජීවිතය යම්තාක් පවතීද ඒතාක් අන්‍ය ශාස්තෘවරයෙකු නොඅදහන්නාවූ තුන්සරණින් යුක්ත වූ මා තුන්සරණින් සරණගියෙකුකොට දරණ සේක්වා, දන්නා සේක්වා, මම වනාහි මාගේ හිස තියුණු කඩුවකින් සිඳින්නාහු නමුත් බුදුරජ බුද්ධ නොවේයයිද හෝ ධර්‍මය ධර්‍මය නොවේයයි හෝ සඞ්ඝයා සඞ්ඝ නොවේයයි හෝ නොකියන්නෙමි’යි කීයේය. මෙහිද බ්‍රාහ්මණ තෙමේ දිවිහිම්කොට සරණ ගියහුයි නැවත සරණගමනය කියනුයේ ආත්මසන්නිර්‍ය්‍යාතනය පවසායි දතයුතුය.
මෙසේ තමන් පාවාදී පිරිස් සහිත වූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනු කැමැත්තේ ‘අධිවාසෙතු ච මෙ භවං ගොතමො වෙරඤ්ජායං වස්සාවාසං සද්ධිං භික්‍‍‍ඛු සඞ්ඝෙන’ යනු කීයේය. මෙයින් කුමක් කියන ලද්දේ ද යත්: ‘භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකුකොට දරණ සේක්වා, මාගේ වෙරඤ්ජාවෙහි වස්විසීම ඉවසන සේක්වා, තෙමසක් වෙරඤ්ජාව ඇසුරුකොට මට අනුග්‍රහ පිණිස වස්විසීම ඉවසන සේක්වා’යි මෙයින් කියන ලද්දේ වේ. ‘අධිවාසෙසි භගවා තුණ්හිභාවෙන’ එකල්හි භාග්‍යවතුන් වහන්සේ මොහුගේ වචනය අසා කායාඞ්ගයක් හෝ ‘හොතු, සාධු’ යනාදී වූ වාචාඞ්ගයක් නොමෙහෙයවා ඇතුළතම ක්‍ෂාන්තිය දරා තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක. බ්‍රාහ්මණයා හට අනුග්‍රහ පිණිස සිතින්ම පිළිගත් සේකැයි කියන ලද්දේ වේ.