සරණගමනකථා
දැන් ඒ තුන්සරණයෙහිම දක්ෂභාවය පිණිස සරණ, සරණගමන, යමෙක් සරණයටයේනම් ඔහු, සරණගමනප්පභෙද, සරණගමන ඵල, සඞ්කිලෙසභෙද මේ විධි දතයුතුය. ඒ විධිය මෙහි කියනු ලබන්නේනම්, විනය නිදානය බැරෑරුම් කරන්නේයයි මෙහි නොකියන ලද්දේය. ප්රයෝජන ඇත්තවුන් විසින් ප්රපඤ්චසුදනී නම් මද්ධ්යමනිකායර්ත්ථ කථාවෙහි භයභෙරව සූත්ර වර්ණනාවෙන් හෝ සුමඞ්ගලවිලාසිනී නම් දීඝනිකායාර්ත්ථ කථාවෙහි ශරණ වර්ණනාවෙන් උගත යුතුය.
උපාසකත්තපටිවෙදනාකථා
‘උපාසකං මං භවං ගොතමො ධාරෙතු’ භවත්, ගෞතමයන් වහන්සේ ‘මෙතෙමේ උපාසකයෙකැ’යි මා දරණ සේක්වා යනු අර්ත්ථයි. උපාසක විධියෙහි දක්ෂභාවය පිණිස මෙහිදී ‘උපාසක කවරේද? කුමක්හෙයින් උපාසකැයි කියනු ලැබේද? මොහුගේ ශිලය කුමක්ද? ආජීවය කවරේද? විපත්තිය කවරේද? සම්පත්තිය කවරේදැ’යි මේ ප්රකීර්ණකය දතයුතු වේ. එය ඉතා බැරෑරුම්ය. එහෙයින් මෙහි නොබෙදන ලදී. ප්රයෝජන ඇත්තවුන් විසින් ප්රපඤ්චසුදනී නම් මද්ධ්යමනිකායර්ත්ථ කථාවෙහි කියූ ක්රමයෙන්ම දතයුතුය.
‘අජ්ජතග්ගෙ’ මෙහි ‘අග්ග’ ශබ්දය තෙමේ ආදිකොටි, කොට්ඨාස, සෙට්ඨ යන මෙතන්හි දක්නා ලැබේ. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං’ යනාදි තන්හි ආදියෙහි දක්නා ලැබේ. ‘තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය, උච්ඡග්ගං වෙළග්ගං’ යනාදී තන්හි කෙළවරෙහිද, ‘අම්ඛිලං මධුරග්ගං ච තිත්තකග්ගං අනුජානාමි භික්ඛවෙ විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා ගාහෙතුං’ යනාදි තන්හි කොට්ඨාසයෙහිද, ‘යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා - පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති’ යනාදි තන්හි ශ්රේෂ්ඨාර්ත්ථයෙහිද දක්නා ලැබේ. මෙය වනාහි මෙය ආද්යර්ත්ථයෙහි දතයුතුය. එහෙයින් ‘අජ්ජතග්ගෙ’ යනු ‘අද ආදී කොටැ’යි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. ‘අජ්ජතං’යි අදබවැ’යි කියන ලද්දේ වේ. ‘අජ්ජදග්ගෙ’යි හෝ පාඨයි. දකාරය පදසන්ධිය කරන්නේය. ‘අද පටන් කොටැ’යි කියන ලද්දේ වේ. ‘පාණුපෙතං’ දිවිතෙක් පැමිණි. ‘භවත් ගෞතමයන් වහන්සේ මාගේ ජීවිතය යම්තාක් පවතීද ඒතාක් අන්ය ශාස්තෘවරයෙකු නොඅදහන්නාවූ තුන්සරණින් යුක්ත වූ මා තුන්සරණින් සරණගියෙකුකොට දරණ සේක්වා, දන්නා සේක්වා, මම වනාහි මාගේ හිස තියුණු කඩුවකින් සිඳින්නාහු නමුත් බුදුරජ බුද්ධ නොවේයයිද හෝ ධර්මය ධර්මය නොවේයයි හෝ සඞ්ඝයා සඞ්ඝ නොවේයයි හෝ නොකියන්නෙමි’යි කීයේය. මෙහිද බ්රාහ්මණ තෙමේ දිවිහිම්කොට සරණ ගියහුයි නැවත සරණගමනය කියනුයේ ආත්මසන්නිර්ය්යාතනය පවසායි දතයුතුය.
මෙසේ තමන් පාවාදී පිරිස් සහිත වූ භාග්යවතුන් වහන්සේට උපස්ථාන කරනු කැමැත්තේ ‘අධිවාසෙතු ච මෙ භවං ගොතමො වෙරඤ්ජායං වස්සාවාසං සද්ධිං භික්ඛු සඞ්ඝෙන’ යනු කීයේය. මෙයින් කුමක් කියන ලද්දේ ද යත්: ‘භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකුකොට දරණ සේක්වා, මාගේ වෙරඤ්ජාවෙහි වස්විසීම ඉවසන සේක්වා, තෙමසක් වෙරඤ්ජාව ඇසුරුකොට මට අනුග්රහ පිණිස වස්විසීම ඉවසන සේක්වා’යි මෙයින් කියන ලද්දේ වේ. ‘අධිවාසෙසි භගවා තුණ්හිභාවෙන’ එකල්හි භාග්යවතුන් වහන්සේ මොහුගේ වචනය අසා කායාඞ්ගයක් හෝ ‘හොතු, සාධු’ යනාදී වූ වාචාඞ්ගයක් නොමෙහෙයවා ඇතුළතම ක්ෂාන්තිය දරා තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක. බ්රාහ්මණයා හට අනුග්රහ පිණිස සිතින්ම පිළිගත් සේකැයි කියන ලද්දේ වේ.