දෙසනානුමොදනකථා
‘එවං වුත්තෙ වෙරඤ්ජො බ්‍රාහ්මණො’ මෙසේ ලොකානුකම්පක වූ භාග්‍යවතුන් වහන්සේ විසින් බ්‍රාහ්මණයා හට අනුකම්පා කරන්නහු විශේෂයෙන් සැඟවිය යුතුවූද තමන්වහන්සේගේ ආර්‍ය්‍ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය විද්‍යාත්‍රය ප්‍රකාශ කරන්නාවූ ධර්‍ම දේශනාවෙන් දක්වා වදාළ කල්හි ප්‍රීතිය පැතිරීමෙන් පිරිපුන් කය සිත් ඇති වෙරඤ්ජ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ආර්‍ය්‍ය ජාතියෙහි ඒ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය දැන මම වනාහි සියලු ලෝකයට ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ වූ සියලු ගුණයන්ගෙන් සමන්‍වාගත වූ මෙබඳු සර්‍වඥයන්හට අන්හට අභිවාදනාදි ක්‍රියා නොකෙරේ යයි කීමි, කොල්ලෙනි! මාගේ අඥානත්‍වයට ඒකාන්තයෙන් නින්දා වේවායි තමාට ගර්‍හාකොට ‘මෙතෙමේ දැන් ලෝකයෙහි ආර්‍ය්‍ය ජාතියෙහි පළමුව උපන් අර්‍ත්‍ථයෙන් ජ්‍යෙෂ්ඨය, සියලු ගුණයන්ගෙන් තමාට සමයෙක් නැත්තේය යන අර්‍ත්‍ථයෙන් ශ්‍රේෂ්ඨය’යි නිෂ්ඨාවට ගොස් ‘ජෙට්ඨො භවං ගොතමො සෙට්ඨො භවං ගොතමො’යි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. මෙසේද කියා නැවත භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්‍ම දේශනාව මොනවට අනුමෝදන් වනුයේ, ‘අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම’ භවත් ගෞතමයන් වහන්ස! ඉතාමනාය, භවත් ගෞතමයන් වහන්ස! ඉතාමනාය, යන මේ ආදිය කීයේය.
එහි මේ ‘අභික්කන්ත’ ශබ්දය, ඛය, සුන්‍දර, අභිරූප, අබ්භනුමොදනයන්හි දක්නා ලැබේ. ‘අභික්කන්තා භන්තෙ රත්ති නික්‍ඛන්තො පඨමො යාමො චිරනිසින්නො භික්‍ඛුසඞ්ඝො’ යන මේ ආදිතන්හි ක්‍ෂයයෙහි දක්නා ලැබේ. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච’ යනාදිතන්හි සුන්‍දරයෙහි දක්නා ලැබේ.
‘කො මෙ වන්‍දති පාදානි ඉද්ධියා යස්සා ජලං,
අභික්කන්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා’
යනාදි තන්හි අභිරූපයෙහි දක්නා ලැබේ. ‘අභික්කන්තං භන්තෙ’ යනාදි තන්හි අබ්භනුමොදනයෙහි දක්නා ලැබේ. මෙහිද අබ්භනුමොදනයෙහිමය. යම්හෙයකින් අබ්භනුමොදනයෙහි වේද, එහෙයින් ‘භවත්ගෞතමයන් වහන්ස! මැනව, මැනව’යි කියන ලදයි දතයුතුය.
‘භයෙහි, ක්‍රෝධයෙහි, ප්‍රශංසාවෙහි, වෙගයෙහි, කොතුහලයෙහි, අච්ඡරයෙහි, හාසයෙහි, ශොකයෙහි, ප්‍රසාදයෙහි යන මෙතන්හි නුවණැත්තේ ආමෙණ්ඩිතය කරන්නේය’යි
කියූ මේ ලක්‍ෂණයෙන්ද, මෙහි ප්‍රසාදප්‍රශංසා වශයෙන් මේ අභික්කන්ත ශබ්දය දෙවරක් කියන ලදයි දතයුතුය.
නොහොත් ‘අභික්කන්තං’ යන මෙය අතිශය කාන්තය, අතිශය ඉෂ්ටය, අතිශයින් මන වඩන්නේය. අතිශයින් සුන්දරය’යි කියන ලද්දේ වේ. එහි එක් අභික්කන්ත ශබ්දයකින් දේශනාවට ස්තුති කරයි. එක් අභික්කන්ත ශබ්දයකින් තමන්ගේ ප්‍රසාදය දක්වයි. ‘භවත්ගෞතමයන් වහන්ස! භවත්ගෞතමයන් වහන්සේගේ යම් මේ ධර්‍ම දේශනාවක් වේද, ඒ ධර්‍ම දේශනාව ඉතා මැනව, භවත්ගෞතමයන් වහන්සේගේ ධර්‍ම දේශනාව නිසා උපන් මාගේ යම් මේ ප්‍රසාදයක් වේද, ඒ ප්‍රසාදය ඉතා මැනව’ යනු මෙහි මේ අදහස වේ. භාග්‍යවතුන් වහන්සේගේම වචනයට හෝ අර්‍ත්‍ථ දෙකක් දෙකක් සඳහා ස්තුති කරයි. ‘භවත්ගෞතමයන් වහන්සේගේ වචන රාගාදී වූ දොස් නසන බැවින් අතිඉෂ්ටය. ශීලාදි ගුණයන්ගේ අධිගමයෙන් අතිඉෂ්ටය. එසේ ශ්‍රද්ධාව උපදවන බැවින්, ප්‍රඥාව උපදවන බැවින්, ශීලාදි අර්‍ත්‍ථ සම්පත්තියෙන් සාර්‍ත්‍ථ බැවින්, ස්වභාව නිරුක්ති සම්පත්තියෙන් සබ්‍යඤ්ජන බැවින්, සුවිඥෙය ශබ්ද ප්‍රයොගයෙන් උත්තානපද ඇතිබැවින්, ගම්භීර වූ අර්‍ත්‍ථ ඇති බැවින්, කණට සුවඑළවන බැවින්, හෘදයඞ්ගම බැවින්, තමා හුවානොදක්වන බැවින්, පරහට අවමන් නොකරන බැවින්, කරුණාවෙන් සිහිල්බැවින්, කෙලෙස් අඳුරු නැසීමෙන් ප්‍රඥාවදාත බැවින්, අභිමුඛ වූවනට සිත්කලුබැවින්, පූර්‍වාපර විරොධ රාහිත්‍යයෙන් විමර්‍දක්‍ෂමබැවින්, ඇසීමෙන් සුවඑළවනබැවින්, විමසන්නවුනට හිතබැවින්, යන මේආදිය සමග යොදා දතයුතුය.
එයින් මතුද චතුර්විධ උපමාවන්ගෙන් දේශනාවටම ස්තූති කරයි. එහි ‘නික්කුජ්ජීතං’ යටිමුවකොට තබන ලද්දක් සැහැවියෙන් වූ යටිහුරුමුව ඇත්තක් හෝ ‘උක්කුජ්ජෙය්‍ය’ උඩුහුරුමුව ඇත්තක් කරන්නේද, ‘පටිච්ඡන්නං’ තණපත් ආදියෙන් වසන ලද්දක්. ‘විවරෙය්‍ය’ විවෘත කරන්නේද, ‘මූළහස්ස’ දිග් මුළාවූවක්හට ‘මග්ගං ආචික්‍ඛෙය්‍ය’ අත ගෙන මේ මගැයි කියන්නේද ‘අන්‍ධකාරෙ’ කාලපක්‍ෂයෙහි තුදුස්වක, අඩරෑ, ගනවනලැහැබ, වලාපටල යන මෙයින් යුත් සිවුරඟ අඳුරෙහි, මේ වනාහි අප්‍රකට පදයන්ගේ අර්‍ත්‍ථයි. මේ මෙහි අධිප්‍රායයොජනයා: යම්සේ කිසිවෙක් යටිමුවකොට තබන ලද්දක් උඩහුරුකොට තබන්නේද, මෙසේ සද්ධර්‍මයට විමුඛ වූ අසද්ධර්‍මයෙහි පිහිටියාවූ මා, අසද්ධර්‍මයෙන් නගාසිටුවන්නාවූ පිළිසන් වූවක් යම්සේ විවෘත කරන්නේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනාන්තර්ධානයෙහි පටන් මිත්‍ථ්‍යාදෘෂ්ටි ග්‍රහණයෙන් වැසුනු ශාසනය විවෘතකොට තබන්නාවූ දිග් මුළාවූවක් හට යම්සේ මග කියන්නේද, එසේ කුත්සිතමාර්‍ග සඞ්ඛ්‍යාත මිත්‍ථ්‍යාදෘෂ්ටිමාර්‍ගයට පිළිපන්නා වූ මට, සගමොක්මග කියාලන්නා වූ යම්සේ අන්‍ධකාරයෙහි තෙල්පහනක් දරන්නේද, එසේ මොහඳුරෙහි ගැලීගියා වූ බුද්ධාදි රත්නත්‍රය සඞ්ඛ්‍යාත රූපයන් නොදක්නාවූ මාගේ ඒ වසා සිටියාවු මොහඳුර නසන්නාවූ දේශනා නමැති ප්‍රදීපය දරන්නාවූ භවත් ගෞතමයන් වහන්සේ විසින් මේ ක්‍රමයන්ගෙන් ධර්‍මය දේශනා කළ බැවින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරන ලද්දේ වේ.