ආසවක්ඛයඤාණකථා
‘සො එවං සමාහිතෙ චිත්තෙ’ යන මෙහි විදර්ශනාපාදක චතුර්ත්ථද්ධ්යාන චිත්තය දතයුතුය. ‘ආසවානං ඛයඤාණාය’ අර්හතත්වමාර්ග ඥානය පිණිසය. අර්හතත්වමාර්ගය වනාහි ආස්රවයන් නසන බැවින් ආස්රවයන්ගේ ක්ෂය යයි කියනු ලැබේ. එහිද මේ ඥානය එයට ඇතුළත් බැවිනි. ‘චිත්තං අභිනින්නාමෙසිං’ විදර්ශනාචිත්තය එළවීමි. ‘සො ඉදං දුක්ඛං’ යන මේ ආදිතන්හි ‘දුක් මෙපමණය, මෙයට වැඩියක් නැත්තේය’යි සියලු දුඃඛසත්යය කෘත්ය සහිත ලක්ෂණ ප්රතිවෙධයෙන් තතුපරිදි අවබෝධ කෙළෙමි. දැනගතිමි. ප්රතිවේධ කෙළෙමි. ඒ දුක උපදවන තෘෂ්ණාව ‘මේ දුඃඛසමුදය’යිද, ඒ දුඃඛය හා දුඃඛසමුදය යන දෙක යම්තැනකට පැමිණ නිරුද්ධවේද, ඔවුන්ගේ ඒ නොපැවැත්ම වූ නිවණ ‘මේ දුඃඛනිරොධය’යිද, එයට පමුණුවන ආර්ය්යමාර්ගය ‘මේ දුඃඛනිරොධගාමිනී ප්රතිපදාය’යිද කෘත්ය සහිත ලක්ෂණ ප්රතිවේධයෙන් තතු පරිදි අවබෝධ කෙළෙමි. දැනගතිමි. ප්රතිවේධ කෙළෙමියි මෙසේ අර්ත්ථ දතයුතුය.
මෙසේ ස්වරූප වශයෙන් සත්යයන් දක්වා දැන් ක්ලෙශ වශයෙන් පර්ය්යාය හෙයින් සත්යයන් දක්වන සේක් ‘ඉමෙ ආසවා’ යනාදිය වදාළ සේක. ‘තස්ස මේ එවං ජානතො එවං පස්සතො’ මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ විදර්ශනාව සමග කෙළපැමිණි මාර්ගය වදාරණ සේක. ‘කාමාසවා’ කාමාස්රවයෙන්. ‘විමුච්චිත්ථ’ මෙයින් ඵලක්ෂණය දක්වාලන්නාහ. මාර්ගක්ෂණයෙහිදී වනාහි සිත මිදෙන්නේය. ඵලක්ෂණයෙහිදී මිදුනේ වේ. ‘විමුත්තස්මිං විමුත්තමිති ඤාණං’ මෙයින් ප්රත්යවෙක්ෂාඥානය දක්වා ලන්නාහ. ‘ඛීණා ජාති’ යනාදියෙන් ඒ ප්රත්යවෙක්ෂාඥානයාගේ භූමිය දක්වාලන්නාහ. භාග්යවතුන් වහන්සේ ඒ ඥානයෙන් ප්රත්යවෙක්ෂා කරන සේක් ‘ජාතිය ක්ෂයවූවා’ යනාදිය අවබෝධ කළ සේක. භාග්යවතුන් වහන්සේගේ කවර ජාතියක් වනාහි ක්ෂයවූවාද? එය කෙසේ අවබෝධ කළසේක්දයත්: එහිලා කියනු ලැබේ. උන්වහන්සේගේ අතීත ජාතිය වනාහි මාර්ග භාවනාවෙන් ක්ෂය නොවූය. එසේවූවා පෙරම ක්ෂය වූ බැවිනි. අනාගතයෙහි ව්යායාමය නැති බැවින් අනාගත ජාතිය ක්ෂය නොවූය. විද්යාමාන බැවින් ප්රත්යුත්පන්න ජාතිය ක්ෂය නොවූය. මාර්ගය නොවැඩූ බැවින් ඒක චතුපඤ්චවොකාර භවයන්හි ඒක චතුපඤ්චක්ඛන්ධයන්ගේ වශයෙන් ප්රභෙද ඇති යම් ජාතියක් වනාහි උපදින්නීද, ඒ ජාතිය මාර්ගය වැඩූබැවින් නැවත නොඉපැදෙන බවට පැමිණීමෙන් ක්ෂය වූවාය. ඒ භාග්යවතුන් වහන්සේ ඒ ජාතිය මාර්ග භාවනාව කරණකොට ප්රහීණ ක්ලෙශයන් ප්රත්යවෙක්ෂාකොට ක්ලෙශයන්ගේ අභාවයෙහි විද්යාමාන වූද කර්මය මතුවෙහි පිළිසිඳ ගැනීම නොකෙරේයි දන්නාසේක් මනාකොට අවබෝධ කළසේක.
‘වුසිතං’ වැස නිමවන ලද කරන ලද හැසිරනලද නිමවනලද යන අර්ත්ථයි. ‘බ්රහ්මචරියං’ මාර්ගබ්රහ්මචර්ය්යය. පෘථග්ජන කල්යාණයා සමග සත් ශෛක්ෂ්යයෝ බ්රහ්මචර්ය්ය වාසය වසන්නාහු නම් වෙති. ක්ෂීණාස්රවයන් වහන්සේ වැස නිමකළ බ්රහ්මචර්ය්ය වාසය ඇත්තාහුය. එහෙයින් භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේගේ බ්රහ්මචර්ය්ය වාසය ප්රත්යවෙක්ෂා කරන සේක්, බ්රහ්මචර්ය්යය වැස නිමකරන ලදැයි මොනවට අවබෝධ කළසේක. ‘කතං කරණීයං’ චතුස්සත්යයන්හි චතුර්විධ මාර්ගයෙන් පරිඥා, ප්රහාණ, සාක්ෂාත්කරණ, භාවනා වශයෙන් සොළොස් වැදෑරුම්වූද කෘත්යය නිමවන ලදය, යන අර්ත්ථයි. පෘථග්ජන කල්යාණාදීහු මේ කෘත්යය නිමවන ලදය, යන අර්ත්ථයි. පෘථග්ජන කල්යාණාදීහු මේ කෘත්යය කරත්. ක්ෂීණාස්රවයන් වහන්සේ කළකෘත්යය ඇති සේක. එහෙයින් භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේගේ කෘත්යය ප්රත්යවෙක්ෂා කරන සේක් කළයුත්ත කරන ලදැයි මොනවට අවබෝධ කළසේක. ‘නාපරං ඉත්ථත්තාය’ දැන් නැවත මේ වර්තමාන ස්කන්ධසන්තානය හේතුකොට අන්ය වූ අනාගත ස්කන්ධසන්තානයක් මට නැත්තේ යයි මෙසේ සොළොස් වැදෑරුම් වූ කෘත්යභාවය පිණිස හෝ ක්ලේශයන්ගේ ක්ෂය කිරීම පිණිස මාර්ගභාවනා කෘත්යයක් මට නැත්තේ යයි මොනවට අවබෝධකළ සේක.
දැන් මෙසේ ප්රත්යවෙක්ෂා ඥානයෙන් පරිගෘහිත වූ ආස්රවයන්ගේ ක්ෂය කිරීමෙන් සිද්ධ වූ ඒ ඥානාධිගමය බ්රාහ්මණයා හට දක්වනසේක් ‘අයං ඛො බ්රාහ්මණ’ යනාදිය වදාළ සේක. එහි ‘විජ්ජා’ යනු අර්හතත්වමාර්ගඥාන විද්යාය. ‘අවිජ්ජා’ යනු චතුස්සත්යය වසන අවිද්යාය. සෙස්ස කියූනය ඇත්තේමය. මේ වනාහි විශේෂය වේ:- ‘අයං ඛො මෙ බ්රාහ්මණ තතියා අභිනිබ්භිදා අහොසි’ යන මෙහි ‘බ්රාහ්මණ යම්සේ මුවතුඩින් හෝ පානිය සිළුවෙන් හෝ අණ්ඩකෝෂය පලාහැර ඒ අණ්ඩකෝෂයෙන් කුකුළු පැටවාගේ අභිනිෂ්ක්රමණය නික්මීම කුක්කුට නිකායෙහි ඉපැත්මවීද, එසේ මාගේ ආස්රවක්ෂය ඥාන නමැති මුවතුඩින් චතුස්සත්ය වසාලන අවිද්යා නමැති අණ්ඩකෝෂය පලාහැර මේ තෘතීය අභිනිෂ්ක්රමණය වූයේය, තෘතීය ආර්ය්ය ජාතිය වූය.
මෙපමණකින් කුමක් දක්වන සේක්ද යත්: ‘බ්රාහ්මණ! ඒ කුකුළු පැටවා අණ්ඩකෝෂය පලාහැර එයින් නික්මෙනුයේ වරක්ම උපදනේය, මම වනාහි පෙරවුසූ කඳ පිළිවෙළ වසාලන අවිද්යා නමැති අණ්ඩකෝෂය බිඳහැර පළමුකොට පූර්වෙනිවාසානුස්මෘති ඥාන විද්යාවෙන් උපන්නේ වීමි, නැවත එයින් පසු සත්ත්වයන්ගේ ච්යුතිප්රතිසන්ධීන් වසාලන අවිද්යා නැමති අණ්ඩකෝෂය පලාහැර දෙවනුව දිව්යචක්ෂුර්ඥාන විද්යාවෙන් උපන්නේ වීමි, නැවත චතුස්සත්යය වසාලන අවිද්යා නැමති අණ්ඩකෝෂය පලාහැර තෙවනුව ආස්රවයන්ගේ ක්ෂයඥාන විද්යාවෙන් උපන්නේ වීමි, මෙසේ ත්රිවිද්යාවෙන් තෙවරක් උපන්නේ වෙමි. මාගේ ඒ ජාතිය ආර්ය්යය. ඉතාපිරිසිදු යයි මෙය දක්වාලූ සේක. මෙසේ දක්වාලනු සේක්ද, පෙරවුසූ කඳ පිළිවෙළ දක්නා නුවණින් අතීතයෙහි පැවති ස්කන්ධ, ධාතු, ආයතන යන තෙකොටසෙහි වූ අප්රතිහත ඥානය, දිව්යචක්ෂුර්විඥානයෙන් වර්තමාන, අනාගත දෙක්හි වූ ස්කන්ධ, ධාතු, ආයතන යන තෙකොටසෙහි පැවති අප්රතිහත ඥානය, ආස්රවක්ෂයකර ඥානයෙන් සියලු ලොවීලොවුතුරු ගුණදැයි මෙසේ ත්රිවිද්යාවෙන් සියලු සර්වඥ ගුණයන් ප්රකාශකොට තමන්වහන්සේගේ ආර්ය්යය ජාතියෙහි ජ්යෙෂ්ඨ, ශ්රේෂ්ඨභාවය බ්රාහ්මණයා හට දක්වා වදාළ සේක.
ආස්රවක්ෂයකර ඥාන කථාව නිමි
දෙසනානුමොදනකථා
‘එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණො’ මෙසේ ලොකානුකම්පක වූ භාග්යවතුන් වහන්සේ විසින් බ්රාහ්මණයා හට අනුකම්පා කරන්නහු විශේෂයෙන් සැඟවිය යුතුවූද තමන්වහන්සේගේ ආර්ය්ය ජාතියෙහි ජ්යෙෂ්ඨ ශ්රේෂ්ඨභාවය විද්යාත්රය ප්රකාශ කරන්නාවූ ධර්ම දේශනාවෙන් දක්වා වදාළ කල්හි ප්රීතිය පැතිරීමෙන් පිරිපුන් කය සිත් ඇති වෙරඤ්ජ බ්රාහ්මණතෙමේ භාග්යවතුන් වහන්සේගේ ආර්ය්ය ජාතියෙහි ඒ ජ්යෙෂ්ඨ ශ්රේෂ්ඨභාවය දැන මම වනාහි සියලු ලෝකයට ජ්යෙෂ්ඨ ශ්රේෂ්ඨ වූ සියලු ගුණයන්ගෙන් සමන්වාගත වූ මෙබඳු සර්වඥයන්හට අන්හට අභිවාදනාදි ක්රියා නොකෙරේ යයි කීමි, කොල්ලෙනි! මාගේ අඥානත්වයට ඒකාන්තයෙන් නින්දා වේවායි තමාට ගර්හාකොට ‘මෙතෙමේ දැන් ලෝකයෙහි ආර්ය්ය ජාතියෙහි පළමුව උපන් අර්ත්ථයෙන් ජ්යෙෂ්ඨය, සියලු ගුණයන්ගෙන් තමාට සමයෙක් නැත්තේය යන අර්ත්ථයෙන් ශ්රේෂ්ඨය’යි නිෂ්ඨාවට ගොස් ‘ජෙට්ඨො භවං ගොතමො සෙට්ඨො භවං ගොතමො’යි භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. මෙසේද කියා නැවත භාග්යවතුන් වහන්සේගේ ඒ ධර්ම දේශනාව මොනවට අනුමෝදන් වනුයේ, ‘අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම’ භවත් ගෞතමයන් වහන්ස! ඉතාමනාය, භවත් ගෞතමයන් වහන්ස! ඉතාමනාය, යන මේ ආදිය කීයේය.