පුබ්බෙනිවාසකථා
මෙසේ මේ ධ්යාන සතර කිසිකෙනෙකුන්හට චිත්ත සමාධිය පිණිස වේ. කිසිකෙනෙකුන්හට විදර්ශනා පාදක වේ. කිසිකෙනෙකුන්හට අභිඥාපාදක වේ. කිසිකෙනෙකුන්හට නිරොධපාදක වේ. කිසිකෙනෙකුන්හට භවයෙහි උත්පත්තිය පිණිස වේ. එහි රහතුන් වහන්සේට චිත්ත සමාධිය (දිට්ඨධම්මසුඛවිහරණය) ප්රයොජනකොට සිටියේ වෙයි. උන්වහන්සේ ධ්යානයට සමවැද එකඟ වූ සිත් ඇතිව දවස මුළුල්ලෙහි සුවසේ වසන්නෙමුයි මෙසේ කිසිණු පිරියම් කොට අෂ්ට සමාපත්තී උපදවයි. සමවතින් නැගිට සමාධිගත වූ සිතින් විදර්ශනා කරන්නෙමුයි ධ්යාන උපදවන්නා වූ ශෛක්ෂ්ය පෘථග්ජනයන්ට විදර්ශනා පාදක වෙත්. යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා අභිඥාපාදකද්ධ්යානයට සමවැද සමාපත්තියෙන් නැගිට ‘එකොපි හුත්වා බහුධා හොති’ කියූනයින් අභිඥා ප්රාර්ත්ථනා කරමින් ධ්යාන උපදවත්ද, ඔවුන්ට අභිඥා පාදක වෙත්. යම්කෙනෙක් වනාහි අෂ්ට සමාපත්තීන් උපදවා නිරොධසමාපත්තියට සමවැද සත්දවසක් මුළුල්ලෙහි අචිත්තකව ඉහාත්මයෙහිම නිරොධ නම් වූ නිවණට පැමිණ සුවසේ වසන්නෙමුයි ධ්යාන උපදවත්ද, ඔවුන්ට නිරොධපාදක වෙත්. යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා නොපිරිහුනු ධ්යාන ඇතිව බ්රහ්ම ලෝකයෙහි උපදින්නෙමුයි ධ්යාන උපදවත්ද ඔවුහු භවයෙහි උත්පත්තිය ප්රයෝජනකොට ඇත්තෝ වෙත්.
භාග්යවතුන් වහන්සේ විසින් මේ චතුර්ත්ථද්ධ්යානය බෝධිවෘක්ෂ මූලයෙහිදී උපදවන ලද්දේය. එය උන්වහන්සේට විදර්ශනාපාදකද අභිඥාපාදකද නිරොධපාදකද සර්වකෘත්ය සාධකදැයි සියලු ලෞකික ලෝකෝත්තර ගුණදායක වූයේ යයි දතයුතුය. යම් ගුණ කෙනකුන් දෙන්නේ වූයේද ඒ ගුණයන්ගේ එකදේශයක් දක්වනසේක් ‘සො එවං සමාහිතෙ චිත්තෙ’ යනාදිය වදාළ සේක.
එහි ‘සො’ ඒ මම. ‘එවං’ යන මෙය චතුර්ත්ථද්ධ්යාන ක්රමය දැක්වීමය. මේ ක්රමයෙන් චතුර්ත්ථද්ධ්යානය පිළිලැබැයි වදාරණ ලද්දේ වේ. ‘සමාහිතෙ’ මේ චතුර්ත්ථද්ධ්යාන සමාධියෙන් සමාහිත කල්හි. ‘පරිසුද්ධෙ’ යනාදි තන්හි වනාහි උපෙක්ෂාස්මෘති පාරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි. පිරිසිදු වූ බැවින්ම ‘පරියොදාතෙ’ නිර්මල වූ කල්හි ප්රභාස්වර කල්හි යයි වදාරණ ලද්දේය. ‘අනඞ්ගණෙ’ සුඛාදී වූ ප්රත්යයයන්ගේ නැසීමෙන් නැසී ගිය රාගාදි කෙලෙස්මල ඇති බැවින් පහවූ කෙලෙස්මල ඇතිකල්හි. කෙලෙස්මල පහවගිය බැවින්ම ‘විගතුපක්කිලෙසෙ’ පහවූ උපක්ලෙශ ඇතිකල්හි. අඞ්ගණයන් කරනකොට සිත කෙලෙසෙන්නේය. මොනවට වැඩූ බැවින් ‘මුදුභූතෙ’ මොළොක් වූ කල්හී වශීභාවයට පැමිණි කල්හි යයි වදාරණ ලද්දේ වේ. වශයෙහි පවත්නා සිත මුදුයි කියනු ලැබේ. මොළොක් බැවින්ම ‘කම්මනියෙ’ කර්ම ක්ෂමකල්හි, කර්මයට යොග්යකල්හි යයි වදාරණ ලද්දේය. මොළොක් වූ සිත පිරිසිදුකළ ස්වර්ණයක් සේ කර්මයට යෝග්ය වේ. මනාකොට වැඩූබැවින්ම මොළොක්බව හා කර්මයට යොග්යබව යන දෙකම වන්නේය. ‘නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං මුදුඤ්ච හොති කම්මනියඤ්ච, යථයිදං භික්ඛවෙ චිත්තං’යි එය මෙසේ වදාළ සේක.
මේ පරිසුද්ධභාවාදියෙහි සිටි බැවින් ‘ඨිතෙ’ සිටි කල්හි. සිටිබැවින්ම ‘ආනෙඤ්ජප්පත්තෙ’ නිසල බවට පැමිණි කල්හි අකම්පිත කල්හි යයි වදාරණ ලද්දේ වේ. මෘදුකර්මණ්යභාවයෙන් හෝ තමාගේ වශයෙහි සිටි බැවින්, සිටි කල්හි ශ්රද්ධාදීන් විසින් රක්නා ලද බැවින් නොසැලෙන බවට පැමිණි කල්හි. ශ්රද්ධාවෙන් රක්නා ලද සිත අශ්රද්ධාවෙන් කම්පිත නොවේ. වීර්ය්යයෙන් රක්නාලද සිත කුසීතභාවයෙන් කම්පිත නොවේ. ස්මෘතියෙන් රක්නාලද සිත ප්රමාදයෙන් කම්පිත නොවේ. සමාධියෙන් රක්නාලද සිත ඖද්ධත්යයෙන් කම්පිත නොවේ. ඥානාලෝකයෙන් යුක්තවූ සිත ක්ලෙශාන්ධකාරයෙන් කම්පිත නොවේ. මේ ධර්ම සයෙන් රක්නාලද සිත නිසල බවට පැමිණියේ වේ. මෙසේ අෂ්ටාඞ්ගසමන්වාගත සිත විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කටයුතු වූ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කිරීම පිණිස එළවීමට සුදුසුවූයේ වේ.
මෙහි අනික් ක්රමයක් වේ: එහි චතුර්ත්ථද්ධ්යාන සමාධියෙන් සමාහිත කල්හි නීවරණ දුරුවීමෙන් පිරිසිදු කල්හි විතර්කාදීන්ගේ ඉක්මීමෙන් නිර්මල කල්හි ධ්යානප්රතිලාභය නිසා උපදින ලාමක වූ ඉච්ඡාචාරයන්ගේ අභාවයෙන් රාගාදිකෙලෙස්මල පහවූ කල්හි අභිද්ධ්යාදිචිත්තොපක්ලේශයන් පහවීමෙන් පහවූ උපක්ලෙශ ඇති කල්හි අනඞ්ගණාර්ත්ථ - චිත්තොපක්ලෙශාර්ත්ථ යන මේ දෙක අනඞ්ගණ - වත්ථ සූත්රයන්ගේ අනුසාරයෙන් දතයුතුය. වශීභාවයට පැමිණීමෙන් මොළොක් වූ කල්හි සෘද්ධිපාදකභාවයට පැමිණීමෙන් කර්මයට යොග්ය වූ කල්හි භාවනා පරිපූර්ණත්වයෙන් ප්රණීතභාවයට පැමිණීමෙන් සිටිකල්හි නිසලබවට පැමිණි කල්හි යම්සේ නිසලබවවේද නිසලබවට පැමිණීමවේද එසේ සිටි කල්හිය යන අර්ත්ථයි. මෙසේද අෂ්ටාඞ්ගසමන්වාගත සිත විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කටයුතු වූ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කරනු පිණිස එළවීමට සුදුසු වේ. පාදක වේ. ආසන්න කාරණයක් වේය යන අර්ත්ථයි.
‘පුබ්බෙනිවාසානුස්සතිඤාණය’ මෙසේ මේ සිත අභිඥාපාදක වූ කල්හි පූර්වෙනිවාසානුස්මෘතියෙහි යම්ඥානයක්වේද ඒ පිණිස එහි ‘පුබ්බෙනිවාසො’ යනු පෙර ඉකුත් වූ ජාතීන්හි විසූ ස්කන්ධය. ‘නිවුත්ථා’ සිය සතන්හි හටගත්තෝය. නැවත නැවත වූවෝය. තමන්ගේ සන්තානයෙහි ඉපද නිරුද්ධ වූවෝය. වසනලද ධර්මයෝය. නිවුත්ථා යනු අරමුණු කිරීම් වශයෙන් වළඳන ලද්දාහුය. තමන්ගේ විඥානයෙන් දන්නා ලද්දාහුය. පිරිසිඳින ලද්දාහුය. සිඳහළ සසර මගඇති බුදුපසේබුදු මහරහතුන් සිහිකිරීම් ආදියෙහි අන්හු පිළිබඳ විඥානයෙන් දැනගන්නාලද අන්හු විසින් පිරිසිඳින ලද ධර්මයෝ හෝ නිවුත්ථ නම් වෙති. ‘පුබ්බෙනිවාසානුස්සති’ යම් සිහියකින් පෙරවුසූ කඳ පිළිවෙළ සිහිකෙරේද ඕතොමෝ පූර්වෙනිවාසානුස්මෘතිය. ‘ඤාණං’ ඒ සිහිය සමග යෙදී සිටි නුවණය. මෙසේ මේ පෙරවුසූ කඳපිළිවෙළ සිහිකරන නුවණ ලැබීම පිණිසය. පෙරවුසූ කඳපිළිවෙළ සිහිකරන නුවණ පිණිසය. මේ නුවණෙහි අධිගමය පිණිසය. එයට පැමිණීම පිණිස යයි වදාරණ ලද්දේ වේ. ‘අභිනිත්තාමෙසිං’ එළවීමි.