තතියජ්ඣානකථා
‘පීතියා ච විරාගා’ මෙහි ප්‍රීතිය කියූ අර්‍ත්‍ථ ඇත්තේමය. ‘විරාග’ යනු ඒ ප්‍රීතියෙහි පිළිකුල් කිරීම හෝ ඉක්මවීමය. ‘පීතියා විරාගා’ යන දෙපදයන්ගේ අතරවූ ‘ච’ ශබ්දය පිඩුකිරීම අර්‍ත්‍ථකොට සිටියේය. ඒ ‘ච’ ශබ්දය ප්‍රීතියෙහි සන්සිඳීම හෝ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීම පිඩු කරන්නේය. එහි යම්කලෙක සන්සිඳීමම පිඩුකෙරේද එකල්හි ප්‍රීතිය සන්සිඳුවීමෙන්ද, නැවත කිමෙක්ද? සන්සිඳුවීමෙන්දැයි මෙසේ යෙදීම දතයුතුය. මේ යෙදීමෙහිද විරාග ශබ්දය පිළිකුල් කිරීම අර්‍ත්‍ථකොට ඇත්තේ වේ. එහෙයින් ප්‍රීතියෙහි පිළිකුලින්ද සන්සිඳීමෙන්දැයි මේ අර්‍ත්‍ථය දතයුතුය. යම්කලෙක්හි විතර්‍ක විචාර ව්‍යපසමය පිඩු කෙරේද එකල්හි ප්‍රීතියෙහි නොඇලීමෙන්දැයි අරුත් දතයුතුය. නැවත කිමෙක්ද? විතර්‍ක විචාරයන්ගේ ව්‍යපසමයෙනැයි මෙසේ යෙදීම දතයුතුය. මේ යෙදීමෙහිද විරාගය සමතික්‍රමණාර්‍ත්‍ථ ඇත්තේ වේ. ප්‍රීතියෙහි සමතික්‍රමණයෙන්ද විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්දැයි යන මේ අර්‍ත්‍ථය දතයුතුය.
ඒකාන්තයෙන් මේ විතර්‍ක විචාරයෝ ද්වීතීයද්ධ්‍යානක්‍ෂණයෙහිදීම සන්සිඳී ගියහ. මේ ධ්‍යානයට මාර්‍ගය දක්වනු පිණිස ද ගුණ බණනු පිණිස ද මේ විර්‍තක විචාර ව්‍යපශම වචනය කියන ලද්දේය. විර්‍තක විචාරයන්ගේ සන්සිඳීමෙනැයි කියූකල්හි ඒකාන්තයෙන් විර්‍තක විචාරයන්ගේ සන්සිඳීම මේ තෘතීයද්ධ්‍යානයට මාර්‍ගය යන මේ අර්‍ත්‍ථය පෙනෙන්නේය. යම්සේ අනාගාමී මාර්‍ග ක්‍ෂණයෙහි ප්‍රහීණ නොවූද සත්කායදෘෂ්ටිආදී වූ පඤ්චොරම්භාගීය සංයොජනයන්ගේ ප්‍රහාණයෙනැයි මෙසේ ප්‍රහාණය කියනු ලබන්නේ අනාගාමී මාර්‍ගාධිගමය පිණිස උත්සාහවත්වූවන්ට උත්සාහය උපදවනු පිණිස ගුණ කීමක් වන්නේද, එපරිද්දෙන්ම මේ තෘතීයද්ධ්‍යානයෙහි නොසන්සිඳුනු විර්‍තක විචාරයන්ගේ සන්සිඳීම කියනු ලබන්නේ ගුණකීමක් වන්නේය. එහෙයින් ප්‍රීතිය ඉක්මීමෙන්ද විර්‍තක විචාරයන්ගේ සන්සිඳීමෙන්දැයි යන මේ අර්‍ත්‍ථය වදාරණ ලදය.
‘උපෙක්‍ඛකො ච විහාසිං’ මෙහි සමව ඉසිලීමට සුදුසු පරිදි බලානුයි උපෙක්‍ෂා නමු. සමව බලයි. අපක්‍ෂපාතීව බලයි යන අර්‍ත්‍ථයි. කෙලෙස් පහවීමෙන් විශද වූ, මහද්ගතභාවයට පැමිණීමෙන් මහත්වූ, ප්‍රීතිය දුරුවීමෙන් ස්ථිරභාවයට ගියාවූ, ඒ උපෙක්‍ෂාවෙන් යුක්ත බැවින් තෘතීයද්ධ්‍යාන සමඞ්ගී පුද්ගලතෙමේ උපෙක්‍ෂකයි කියනු ලැබේ. උපෙක්‍ෂාව ෂඩඞ්ගොපෙක්‍ෂා, බ්‍රහ්මවිහාරොපෙක්‍ෂා, බොධ්‍යඞ්ගොපෙක්‍ෂා, වීර්‍ය්‍යොපෙක්‍ෂා, සංස්කාරොපෙක්‍ෂා, වෙදනොපෙක්‍ෂා, විදර්‍ශනොපෙක්‍ෂා, තත්‍රමද්ධ්‍යත්‍වොපෙක්‍ෂා, ධ්‍යානොපෙක්‍ෂා, පාරිශුද්ධ්‍යුපෙක්‍ෂායි දසවැදෑරුම් වේ. මෙසේ මේ උපෙක්‍ෂාවද සවැදෑරුම් වූවාද ඒ ඒ තන්හි ආනයින් භූමි, පුද්ගල, චිත්තාලම්බන වශයෙන් ද ස්කන්‍ධ සඞ්ග්‍රහ, එකක්‍ෂණ, කුශලත්‍රික, සඞ්ක්‍ෂෙප වශයෙන්දැයි අර්‍ත්‍ථශාලිනී ධර්‍ම සඞ්ග්‍රහාර්‍ත්‍ථ කථාවෙහි කියූ ක්‍රමයෙන් දතයුතුය. මෙහි කියනු ලබන විනය නිදානය ඉතා බැරෑරුම් කරන්නේ යයි නොකියන ලදී. ලක්‍ෂණාදීන්ගේ වශයෙන් මෙහි අභිමත ධ්‍යානොපෙක්‍ෂාව මැදහත්බව ලකුණුකොට ඇත්තේය. ප්‍රණීත වූද එහි අවනතියට ප්‍රතිපක්‍ෂ කෘත්‍යය ඇත්තේය. ඒ සුඛයෙහි උත්සාහ රහිතබව වැටහීමකොට ඇත්තේය. ප්‍රීතිවිරාගය ආසන්න කාරණයකොට ඇත්තේය.
මෙහිලා කීහ: අර්‍ත්‍ථ වශයෙන් මෙය තත්‍ර මද්ධ්‍යත්‍වොපෙක්‍ෂාවම නොවේද? එය ප්‍රථම ද්වීතීය ධ්‍යානයන්හිද ඇත. එහෙයින් එහිද උපෙක්‍ෂකව විසූයෙමියි මෙසේ මෙය කියයුතුය. කුමක්හෙයින් එය නොකියන ලද්දේදයත්, අප්‍රකට කෘත්‍යය ඇති බැවිනි. ප්‍රථම ද්වීතීයද්ධ්‍යානයන්හි තත්‍ර මද්ධ්‍යත්‍වොපෙක්‍ෂාවෙහි කෘත්‍යය අප්‍රකටමය. විතර්‍කාදීන් විසින් මැඩගත් බැවිනි. මෙහි මෙය විර්‍තක විචාර ප්‍රීති යන මොවුන් විසින් නොමැඩුනු බැවින් එසවූ හිස්ඇත්තෙකු මෙන්වී ප්‍රකට කෘත්‍යය ඇත්තේ වේ. එහෙයින් මෙහි වදාරණ ලදී.
‘උපෙක්‍ඛකො විහාසිං’ යන මෙහි අර්‍ත්‍ථ වර්‍ණනාව සර්‍වප්‍රකාරයෙන් නිමියේය.
දැන් ‘සතො ච සම්පජානො’ යන මෙහි ‘සිහි කෙරේනුයි ‘සත’ නම් වේ. ‘මොනවට දනීනු’යි ‘සම්පජාන’ නමි. මෙහි පුද්ගලාධිෂ්ඨාන වශයෙන් සිහියත් මොනවට දැනීමක් වදාරණ ලද්දේය. එදෙක අතුරෙහි සතිය සිහිකිරීම ලකුණුකොට ඇත. නොමුළාබව කෘත්‍යයකොට ඇත. කෙලෙසුන්ගෙන් රැකීම වැටහීමකොට ඇත්තේය. සම්පජඤ්ඤය නොමුළාබව ලකුණු කොට ඇත. කෘත්‍යයන්හි තීරණය කෘත්‍යයකොට ඇත. විමසීම වැටහීමකොට ඇත. එහි කිසිසේත් මේ ස්මෘති සම්ප්‍රජන්‍යයෝ යට කියූ ධ්‍යානයන්හිද ඇත්තාහ. මුළාවූ සිහිඇති නුවණ නැත්තහුට වනාහි උපචාර මාත්‍රයකුදු නොසැපයේ. අර්‍පණා ගැන කියනු කිම? ඒ ධ්‍යානයන් ඖදාරික බැවින් වනාහි පුරුෂයාගේ පොළොවෙහි ගමන මෙන් ඒ ධ්‍යානයන්හි චිත්තගතිය සැපවන්නී වේ. එහි ස්මෘති සම්ප්‍රජන්‍යකෘත්‍යය අව්‍යක්ත වේ. මේ ධ්‍යානය තමා ඖදාරිකාඞ්ගයන්ගේ ප්‍රහාණයෙන් වනාහි සියුම්වන බැවින් පුරුෂයෙකුගේ කරමුවහතෙහි ගමන මෙන් ස්මෘතිසම්පජන්‍ය කෘත්‍යයෙන් පරිගෘහිතවූම චිත්තයාගේ ගතිය කැමති වියයුතුයයි මෙහිම කියන ලදී. නැවත කිමෙක්දයත්: යම්සේ දෙන විසින් කිරි පෙවූ වස්සෙක් දෙනගෙන් ඉවත්කරන ලද්දේ අන්තැනකට ගෙනගොස් නොරකිනු ලබන්නේ නැවත දෙනකරාම එළඹේද, මෙසේ මේ තෘතීයද්ධ්‍යාන සුඛය ප්‍රීතියෙන් ඉවත්කරන ලද්දේ සිහිණුවණින් නොරකිනු ලබන්නේ නම් නැවත ප්‍රීතිසම්ප්‍රයුක්තධ්‍යානයටම පැමිණෙන්නේය. ප්‍රීතිසම්ප්‍රයුක්තම වන්නේය. සත්ත්‍වයෝ සුඛයෙහිද ඇලෙත්. මේ සුඛයද අතිමධුර සුඛයයි. එයට වඩා සුඛයක් නැති බැවිනි. සිහිනුවණ දෙකෙහි ආනුභාවයෙන් වනාහි මේ තෘතීයද්ධ්‍යාන සුඛයෙහි නොඇලීම වේ. අන් පරිද්දෙකින් නොවේයයි මේ අර්‍ත්‍ථ විශේෂයද දක්වනු පිණිස ‘සතො සම්පජානො’ යන මෙය මෙහිම කියන ලදැයි දතයුතුය.