විනයපඤ්ඤත්තියාචනකථාවණ්ණනා
දැන් ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ විනය ප්රඥප්තියෙහි මුල පටන් නිදානය දක්වනු පිණිස ශාරිපුත්ර මහාස්ථවිරයන් වහන්සේගේ ශික්ෂාපද ප්රතිසංයුක්තවූ චිත්තොත්පාදය දක්වන්නාහු ‘අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස’ යනාදිය කීහ. එහි ‘රභොගතස්ස’ රහසිගත වූ ජනවිවිකතස්ථානයට පැමිණියාවූ ‘පතිසල්ලීනස්ස’ සැඟවුනු චිත්තවිවෙකයෙන් යුක්තවූ එකලාබවට පැමිණියා වූ ශාරීපුත්ර මහාස්ථවිරයන් වහන්සේට ‘කතමෙසානං’ අතීතයෙහි වූ විදර්ශී ආදීවූ බුදුරජුන් අතුරෙහි කවර බුදුරජුන්ගේ ශාසනයෙහි පැවැත්ම බොහෝ කල්වූයේද, බොහෝකල්යුත් පැවැත්මවීදැයි චිරට්ඨිතික නමි. මෙහි සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය.
කිම? මහාස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේගේ මේ පරිවිතර්කය තුමූ විනිශ්චය කරන්නට අපොහොසත් වෙත්දයත්: මෙහිලා කියනු ලැබේ සමර්ත්ථද අසමර්ත්ථද වෙත්. මේ මහාස්ථවිරයන් වහන්සේ මෙනම් බුදුරජුන්ගේ ශාසනය කල් නොපවත්නේ වූයේය, මෙනම් බුදුරජුන්ගේ ශාසනය කල් පවත්නේ වූයේය, යන මෙපමණක්ම විනිශ්චය කරන්නට සමර්ත්ථ වෙත්. මේ කාරණය හේතුකොට කල් නොපවත්නේ වූයේය. මේ කාරණය හේතුකොට කල් පවත්නේ වූයේය, යන මෙය විනිශ්චය කරන්නට සමර්ත්ථ නොවෙත් මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ වනාහි ‘ෂොඩශවිධ ප්රඥාවෙහි මුදුනට පැමිණි අග්රශ්රාවකයා හට මෙයද බැරෑරුම් නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග එක්තැන වසන්නහුට තමන් විනිශ්චය කිරීම, තරාදිය හැරදමා අතින් කිරීමක් වැනිවේයයි සිතා භාග්යවතුන් වහන්සේ කරාම එළඹ විචාළාහුය’යි කීහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මුන්වහන්සේගේ විචාරීම විසඳන සේක් ‘භගවතොච සාරිපුත්ත විපස්සිස්ස’ යනාදිය වදාළ සේක. එය ප්රකට අර්ත්ථ ඇත්තේමය.
නැවත මහාස්ථවිරයන් වහන්සේ කරුණු විචාරන්නාහු ‘කො නුඛො භන්තෙ හෙතු’ යනාදිය කීහ. එහි ‘කො නුඛො භන්තෙ’ යනු කරුණු විචාරීමය. ‘ස්වාමීනි! එයට හේතු කවරේද’ යනු එහි අර්ත්ථයි. හෙතු - පච්චය යන මෙදෙක කාරණයන්හට නමකි. යම්හෙයකින් ඒ කරනකොට ඔහුගේ ඵලය පිහිටුවාද පවත්වාද, එහෙයින් කාරණය හෙතුයි කියනු ලැබේ. යම්හෙයකින් එය නිසා එය ඇසුරු කොට ඒද, පවතීද එහෙයින් ප්රත්යයයි කියනු ලැබේ. මෙසේ අර්ත්ථ වශයෙන් එකක් වූයේද, ව්යවහාර වශයෙන් වචනයන්ගේ සිලිටිබව පිණිසද ඒ ඒ තන්හි මේ දෙපදයම කියනු ලැබේ. මෙහි සෙස්ස ප්රකට අර්ත්ථ ඇත්තේමය.
දැන් ඒ හේතුව හා ප්රත්යය දක්වනු පිණිස භාග්යවතුන් වහන්සේ ‘භගවා ච සාරිපුත්ත විපස්සි’ යනාදිය වදාළ සේක. එහි ‘කිලාසුනො අහෙසුං’ අලස බැවින් උත්සහ රහිත වූවාහු නොවූහ. බුදුවරුන්ට අලසබවක් හෝ පසුබස්නා වැරඇතිබවක් නැත්තේය. බුදුවරයෝ වනාහි එකට හෝ දෙදෙනකුට හෝ සියලු සක්වළ වැසියනට හෝ ධර්ම දේශනා කරනසේක් සමවූම උත්සාහයෙන් ධර්මදේශනා කෙරෙත්. පිරිසෙහි මදබව බව දැක පසුබස්නා වැර ඇත්තාහු නොවෙත්. පිරිසෙහි මහත්බව දැක වැඩිවැර ඇත්තාහු නොවෙත්. මෘගරාජන් වූ සිංහතෙමේ සත්දවසක්හුගේ ඇවෑමෙන් ගොදුරු පිණිස යනුයේ කුඩාවූ හෝ මහත්වූ ප්රාණීන් දැක එක්සමානවූම වේගයෙන් කඩාපනියි. එයට හේතුකිමයත්: ‘මාගේ වේගය නොපිරිහේවා’ යනුයි. එසේ බුදුවරයෝ ස්වල්ප වූ හෝ මහත් වූ පිරිසට සමවූම උත්සාහයෙන් ධර්ම දේශනා කෙරෙත්. එයට හේතු කිමයත්: ‘අපගේ ධර්මගෞරවය නොපිරිහේවා’ යනුයි. බුදුවරයෝ ධර්මය ගරුකොට ගත්තාහුය. ධර්මයෙහි ගෞරව ඇත්තාහුය.
යම්සේ වනාහි අපගේ භාග්යවතුන් වහන්සේ මහමුහුද පුරවන්නා සේ විස්තර විසින් ධර්මය දේශනා කළ සේක්ද, ඒ බුදුවරයෝ මෙසේ ධර්මදේශනා නොකළාහුය. කුමක්හෙයින්දයත්: සත්ත්වයන්ගේ නුවණෙහි අල්පරජස්කභාවය හේතුකොටය. ඒ බුදුවරුන්ගේ කාලයෙහි දීර්ඝායුස්ක වූ සත්ත්වයෝ අල්පරජස්ක වූහ. ඒ අල්පරජස්ක සත්ත්වයෝ චතුස්සත්ය ප්රතිසංයුක්ත වූ එක්ගාථාවකුදු අසා ධර්මය අවබෝධ කරගනිත්. එහෙයින් විස්තර විසින් ධර්මදේශනා නොකළාහුය. ඒ කාරණයෙන්ම ඒ බුදුවරුන්ගේ සූත්ර-වෙදල්ල ධර්ම ස්වල්ප වූයේය. එහි සූත්රාදීන්ගේ නානාභාවය ප්රථමසඞ්ගීති වර්ණනාවෙහි කියන ලද්දේමය.
‘අපඤ්ඤත්තං සාවකානං සික්ඛාපදං’ ශ්රාවකයන් පිළිබඳ වස්තුව්යතික්රමයන්ගේ අභාවයෙන් වූ නිර්දොෂභාවය හේතුකොට දොෂයන්ට අනුරූප වශයෙන් පැනවියයුතු වූ සප්තාපත්ති ස්කන්ධයන්ගේ වශයෙන් පැවති ආඥාශික්ෂාපද නොපනවන ලද්දේය. ‘අනුද්දිට්ඨං පාතිමොක්ඛං’ අඩමසක් පාසා ආඥාප්රාතිමොක්ෂය නොඋදෙසන ලද්දේ වූයේය. ඒ බුදුවරයෝ අවවාද ප්රාතිමොක්ෂයම උදෙසූහ. එදා අඩමසක් පාසා නොවේ. ඒ එසේමය. විදර්ශී භාග්යවතුන් වහන්සේ සාවුරුද්ද සාවුරුද්ද ඇවෑමෙන් එක් එක්වර, සාවුරුද්දට එක්වරක් අවවාද ප්රාතිමොක්ෂය තමන්වහන්සේම උදෙසූ සේක. මුන්වහන්සේගේ ශ්රාවකයෝ වනාහි තමතමන් වසන තන්හිදු නොඋදෙසූහ. සියලු දඹදිව එක්තැන බන්ධුමතී රාජධානියෙහි ක්ෂෙම නම් මෘගදායයෙහි විදර්ශී භාග්යවතුන් වහන්සේගේ වාසස්ථානයෙහිදී සියලු භික්ෂු සඞ්ඝතෙමේ පොහොය කෙළේය. ඒ ද සඞ්ඝුපොසථයමය. ගණූපොසථය නොකෙළේය. පුග්ගලුපොසථය නොකෙළේය. පාරිසුද්ධිඋපොසථය නොකෙළේය. අධිට්ඨානූපොසථය නොකෙළේය.
ඒ කාලයෙහි දඹදිව අසූහාරදහසක් විහාර විය. එක් එක් විහාරයෙහි විසභාග පුද්ගලයන් හා මිශ්රනොවූ එක්නොවූ දසදහස් විසිදහස් ගණන් භික්ෂූහු වාසය කරත්. එයට වැඩිතරම්වූද භික්ෂූහු වෙසෙත්. උපොසථය සැලකරන දෙවියෝ ඒ ඒ තැන ගොස් ‘නිදුකාණෙනි! එක්වසක් ඉක්මගියේය, දෙවසක්, තෙවසක්, සිවුවසක්, පස්වසක් ඉක්ම ගියේය, මේ සවන වසය, එන පුන්පසළොස්වක බුදුරජුන් දැකීම පිණිසද, පොහොය කරනු පිණිසද, යායුතුය. ඔබවහන්සේලාගේ සන්නිපාත කාලය පැමිණ සිටියේය’යි සැලකෙරෙත්. එයින් පසු සෘද්ධ්යනුභාව සහිත වූ භික්ෂූන් වහන්සේ පැදුම්දෙස මුහුදුකෙළවර පිහිටි පෙදෙස්හිද, පැසුළු, උතුරු, දකුණුදෙස මුහුදුකෙළවර පිහිටි පෙදෙස්හිද, සිටියාහු, ගමිකවත් පුරා පාසිවුරු ගෙන යමු’යි සිත් උපදවත්. සිත් ඉපදවීම සමගම පොහොය කරන තැනට ගියාහුම වෙති. ඔවුහු එහි විදර්ශී සම්යක් සම්බුද්ධයන් වහන්සේ මනාකොට වැඳ හිඳගනිත්. භාග්යවතුන් වහන්සේද රැස්වහුන් පිරිසෙහි මේ අවවාදප්රාතිමොක්ෂය උදෙසන සේක: