බුද්ධාචිණ්ණකථා
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන්ට කරුණු අවබෝධ කරවා, වෙරඤ්ජාවෙහි ඒ වස්විසීම ගෙවා, වැස නිමකළ වස් ඇතිසේක් මහාපවාරණයෙන් පවරා ‘අථ ඛො භගවා ආයසමන්තං ආනන්‍දං ආමන්තෙසි’යි ඇමතූ සේක. වදාළ සේක. අවබෝධ කරවූ සේක. කුමක් අවබෝධ කරවූ සේක්දයත්: ‘ආචිණ්ණං ඛො පනෙතං’ යන මේ ආදිය අවබෝධ කරවූ සේක: ‘ආචිණ්ණං’ පුරුදු කරන ලදය. සිරිතය. වතය. ලොකොත්තර ධර්‍මානුගත ධර්‍මයය. ඒ මේ පුරුදු කරන ලද්ද, බුදුවරුන් විසින් පුරුදු කරන ලද්දය, ශ්‍රාවකයන් විසින් පුරුදු කරන ලද්ද යයි දෙවැදෑරුම් වේ. බුදුවරයන් විසින් පුරුදු කරන ලද්ද කවරේද යත්: එහි බුදුවරයෝ යම් කෙනෙකුන් විසින් නිමන්ත්‍රණය කරන ලද්දාහු, වස් වසත්ද, ඔවුන් නොබලා නොවිචාරා දනවු සැරිසැරීමට නොවඩින්නාහ. මේ වනාහි එක්සිරිතකි. ශ්‍රාවකයෝ වනාහි විචාරා හෝ නොවිචාරා පහසු ඇති පරිද්දෙන් දනවු සැරිසැරීමට යන්නාහ.
බුදුවරයන්ගේ අනික් සිරිතක්ද වේ: බුදුවරයෝ වැස නිමකළ වස් ඇත්තාහු, පවාරණයකොට ජනසඞ්ග්‍රහය පිණිස දනවු සැරිසැරීමට වඩින්නාහුමය. දනවු සැරිසරන්නාහුද, මහා මණ්ඩල, මද්ධ්‍ය මණ්ඩල, ක්‍ෂුද්‍ර මණ්ඩල යන මේ තෙවැදෑරුම් වූ මණ්ඩලයන් අතුරෙහි එක්තරා මණ්ඩලයක සැරිසරන්නාහුය. එහි මහා මණ්ඩලය, යොදුන් නවසියයක් ඇත්තේය. මද්ධ්‍යමණ්ඩලය, යොදුන් සසියයක් ඇත්තේය. ක්‍ෂුද්‍රමණ්ඩලය, යොදුන් තුන්සියයක් ඇත්තේය. යම්කලක මහාමණ්ඩලයෙහි හැසිරෙනු කැමැත්තාහු වෙත්ද, එකල්හි මහා පවාරණයෙන් පවාරණයකොට පෑළවිය දවසෙහි මහා භික්‍ෂු සඞ්ඝයා පිරිවරකොට ඇතිව නික්ම ගම්නියම්ගම් ආදියෙහි ආමිෂ සඞ්ග්‍රහ පිළිගැනීමෙන් මහජනයාහට අනුග්‍රහ කරන්නාහු ධර්‍ම දානයෙන්ද මේ මහජනයාගේ නිවණට හේතුවූ නිවණ ඇසුරු කළ කුසල් වඩමින් නව මසකින් ජනපද චාරිකාව අවසන් කරත්. ඉදින්වනාහි ඇතුළුවස භික්‍ෂූන්ගේ ශමථ විදර්‍ශනාවෝ තරුණ වූවාහු වෙත්ද, මහා පවාරණයෙන් පවාරණය නොකොට අනුමතිදාන වසයෙන් පවාරණ සඞ්ග්‍රහයද, ඉල්මස මැදිපෝයදා පවාරණයකොට උඳුවප්මස පළමු දිනයෙහි මහාභික්‍ෂු සඬඝයා පිරිවරකොට ඇතිව නික්ම කියූ ලෙසින්ම මද්ධ්‍යමණ්ඩලයෙහි චාරිකාව අටමසකින් අවසන් කරත්. ඉදින්වනාහි, වැස නිමකළ වස්ඇති බුදුවරයන් විසින් හික්මවියයුතු වූ නොමේරු ඉඳුරන් ඇති සත්ත්‍වයෝ වෙත්ද, ඔවුන්ගේ ඉඳුරන් මෝරායෑම බලාපොරොත්තුවන්නාහු, උඳුවප් මසද එහිම වැඩවාසයකොට, දුරුතුමස පළමු දිනයෙහි මහාභික්‍ෂු සඞ්ඝයා පිරිවරකොට ඇතිව නික්ම කියූ ලෙසින්ම ක්‍ෂුද්‍ර මණ්ඩලයෙහි චාරිකාව සත්මසකින් අවසන් කරත්. ඒ මණ්ඩලයන්හිද යම්කිසිතැනක හැසිරෙන්නාහුද, ඒ ඒ සත්ත්‍වයන් කෙලෙසුන්ගෙන් වෙන්කරමින් ස්‍රොතාපත්ති ඵලාදිය හා යොදමින් හික්මවිය යුතු සත්ත්‍වයන්ගේ වසයෙන්ම නන්පැහැති මල් නෙලන්නවුන් මෙන් හැසිරෙත්.
බුදුවරයන්ගේ අනිකුදු සිරිතක් බුදුවරයන් විසින් පුරුදු කරන ලද්දක් වේ: දිනපතා අලුයම් කාලයෙහි ශාන්ත වූ සුඛවූ නිවන අරමුණුකොට, ඵලසමාපත්තියට සමවැදීම, ඵලසමාපත්තියෙන් නැගිට මහා කරුණා සමාපත්තියට සමවැදීම හා ඉනික්බිති දසදහස් සක්වළෙහි දහම් අවබෝධ කරවියහැකි සත්ත්‍වයන් බැලීමය.
බුදුවරයන්ගේ අනිකුදු සිරිතක් වේ: ආගන්තුකයන් හා ඉතා පළමුකොට පිළිසඳර කිරීම, අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් දහම් දෙසීම හා අවතීර්‍ණ දෝෂයෙහි ශික්‍ෂාපද පැනවීමය යන මෙය බුදුවරයන්ගේ සිරිතය.
ශ්‍රාවකයන්ගේ සිරිත කවරේදයත්: බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි වස් එළැඹීමට පෙරටුව කමටහන් ගැනීම පිණිසද, වස් වැස නිමකළවුන්ගේ තමන් ලැබූ ගුණ සැලකිරීම පිණිසද, මතුවෙහි කමටහන් ගැනීම පිණිසද අවුරුද්දට දෙවරක් සන්නිපාතය වේ. මේ ශ්‍රාවකයන්ගේ සිරිතය. මෙහි වනාහි බුදුවරුන්ගේ සිරිත දක්වන සේක් ‘ආචිණ්ණං ඛො පනෙතං ආනන්‍ද තථාගතානං’ යනු වදාළ සේක.